පෙබරවාරි 2 වන දිනට යෙදෙන ලෝක තෙත් බිම් දිනය නිමිත්තෙනි
තෙත් බිම් රකින සත්ත්ව හා වෘක්‍ෂලතා නීතිය
මෙහිදී ජගත් තෙත් බිම් දිනය ලෙස සෑම වසරකම පෙබරවාරි 02 දින නම් කරන ලදී. එසේම තෙත්බිමක් යන්න නිර්වචනය කිරීමද මෙහිදී සිදුවිය. ඒ අනුව තෙත් බිමක් යනු ස්‌වභාවික හෝ කෘතිම වූද ස්‌ථිර හෝ තාවකාලික හා කරදිය හා කිවුල්දිය සහිත බාදිය මට්‌ටමේ සිට මීටර් 06 ට වඩා අඩු සාගර ජලය ඇති ප්‍රදේශ ඇතුළත් වගුරු බිම් ගොහොරු බිම් සහ ජලය තෙත් බිම් ලෙස හඳුන්වනු ලබයි.
ඉහත අර්ථ කථනයට අනුව ශ්‍රී ලංකාවේ තෙත් බිම් කාණ්‌ඩ තුනක් හඳුනා ගත හැක. එනම් ගංගා, ඇලදොල, විල්ලූ, මිරිදිය වගුරුවනාන්තර ඇතුලත් අභ්‍යන්තර මිරිදිය තෙත්බිම්ද කුඹුරු, වැව්, ජලාශ ඇතුලත් වන කෘතිම තෙත් බිම් සහ මෝය, කඩොලාන, කලපු, කොරල්පර, මුහුදු තෘණ බිම් ආදිය ඇතුලත් වන කරදිය තෙත්බ්ම් යනුවෙනි.
ජගත් තෙත් බිම් සංරක්‍ෂණය සඳහා වු සම්මුතියට ශ්‍රී ලංකා රජයද එකඟ වී අත්සන් තබා ඇත. ඒ අනුව රම්සා සම්මුතියෙන් සංරක්‍ෂණය වන තෙත් බිම් හතරක් අප රටේ ඇත. ඒවා නම් බුන්දල ජාතික උද්‍යානය, කුමන ජාතික උද්‍යානය ආනවිලූන්දාව, වන්කාලේ සහ මාදු ගඟ අභය භූමි වේ. එසේම ශ්‍රී ලංකාවේ තිබෙන තවත් තෙත් බිම් 40 ක් පමණ ආසියානු තෙත් බිම් නාමාවලියට ඇතුලත් කෙරේ.
ඒවා අතර මුතුරාජවෙල අභය භූමිය, මාඳු ගඟ අභය භූමිය, බුන්දල ජාතික උද්‍යානය, කලමැටිය අභය භූමිය, හික්‌කඩුව ජාතික උද්‍යානය, රූමස්‌සල අභය භූමිය යන තෙත් බිම් තුළ මිරිදිය වගුරු, මිරිදිය වගුරු වනාන්තර, මෝය, කඩොලාන, කොරල්පර, මුහුදු තෘණ බිම් දැක ගත හැකිය.
මෙම තෙත් බිම් මඟින් ස්‌වභාවික විපත් පාලනය මෙන්ම වැසි ජලය අපවහනය වීමට ඉඩ නොදි ගබඩාකරණය කිරීම මඟින් ගංවතුර පාලනය කිරීමට සුවිශාල දායකත්වයක් දරයි. එසේම කෘෂිකර්මයට, ජල විදුලිය නිපදවීමට, ලූණු කර්මාන්තයට මෙන්ම තවත් මිනිසාගේ ජීවනෝපාය සඳහා වැදගත් වන කර්මාන්ත රාශියකට අවශ්‍ය දායකත්වය සපයයි. එසේම තෙත්බිම් ප්‍රවාහන කටයුතු සඳහාද මිනිසාට වැදගත් වේ. මේ අනුව පරිසරය සමතුළිතව තබා ගනිමින් ස්‌ථායි පරිසර පද්ධතියක් සැලසීSමේ මහඟු විද්‍යාත්මක යාන්ත්‍රනයට තෙත් බිම් සෘජුවම වැදගත් වේ.
ඉහත ස්‌වභාවික තෙත් බිම් වලට අමතරව කෘතිම තෙත්බිම් ඝණයට වැටෙන කුඹුරු, වැව් සහ ජලාශ ශ්‍රිS ලාංකික සංස්‌කෘතියට, මානව ශිෂ්ටාචාරයට මෙන්ම පෝෂණයට අවශ්‍ය සුවිසාල දායකත්වයක් දරයි.
තෙත්බිම් විනාශ වීමට බලපෑ හැකි සාදක
1. තෙත්බිම් තුලට කැලි කසල සහ අපද්‍රව්‍ය බැහැර කිරීම.
2. තෙත් බිම් ගොඩ කිරීම.
3. තෙත් බිම් වල තිබෙන ඛණිජ ද්‍රව්‍ය ඉවත් කිරීම.
4. තෙත් බිම් වල අනවසර ඉදිකිරීêම් කිරීම.
5. තෙත් බිම්වලින් ශාඛ හා පස් කොටස් ඉවත් කිරීම.
6. තෙත් බිම් වල ජෛව විවිධත්වයට හානි වන වෙනත් ක්‍රියා.
7. ආගන්තුක ශාක හා සත්ව විශේෂ
මේ හේතුවෙන් මෙම තෙත් බිම් සංරක්‍ෂණය සඳහා විදේශීය මෙන්ම දේශීය අණපනත් රාශියක් පවතී. ඒවා අතුරින් දේශීයව පවතින වනසත්ත්ව
හා වෘක්‍ෂලතා අරක්‍ෂන ආඥා පනත මඟින් තෙත්බ්ම් සංරක්‍ෂණකට සෘජුවම ප්‍රතිපාදන සලසා ඇත. 1937 අංක 2 දරන මෙම පනත 1964 අංක 44, 1970 අංක 01, 1992 අංක 49 සහ අවසාන වශයෙන් 2009 අංක 22 ලෙස සංශෝධනය වී ඇති අතර 469 වන අධිකාරියේ මෙම පනතේ 2 උප වගන්තිය මඟින් ජාතික රක්‍ෂිත භූමි සහ අභය භූමි ලෙස නිශ්චිත ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කිරීමේ නීත්‍යානුකුල බලය ලැබී ඇත. එම බලය ප්‍රකාරව යම් ප්‍රදේශයක් ජාතික උද්‍යානයක් අභය භූමියක් ලෙස නම් කිරීමේ හැකියාව ඇත. එසේම 2009 අංක 22 සංශෝධනය අනුව සමුද්‍රීය ජාතික උද්‍යාන යනුවෙන් සුවිශේෂ රක්‍ෂිත ප්‍රදේශයක් හඳුන්වා දෙන ලදී. මෙම ප්‍රතිපාදන තුළ රක්‍ෂිත බවට පත්වූ තෙත් බිම් රාශියක් වන සත්ත්ව
හා වෘක්‍ෂලතා ආරක්‍ෂණ පනතේ රැකවරණ ලබමින් ඇතැම් කුරිරු මිනිසුන්ගේ තෙත්බිම් සංහාරය කිරීමේ උවදුරින් වැලකී අඛණ්‌ඩ හා ස්‌ථිර ජීවය පවත්වා ගනිමින් තම සුපුරුදු පරිසර මෙහෙවර ඉටු කරමින් සිටී.
ශ්‍රී ලංකාවේ රම්සා තෙත් බිම් ලෙස නම් කරන ලද බුන්දල ජාතික උද්‍යානය මාඳු ගඟ අභය භූමිය කුමන හා වන්කාලේ මෙන්ම ආනවිලුන්දාවද මෙම පනතේ රැකවරණ ලබයි. මීට අමතරව හික්‌කඩුව ජාතික උද්‍යානය බෙල්ලන්විල අත්තිඩිය අභය භූමිය මෙන්ම මුතුරාජවෙල අභය භූමිය ජනාකීර්ණ ප්‍රදේශ වල පවතින වැදගත් තෙත් බිම් කීපයකට උදාහරණ වන අතර ඉහත පනතින් රැකවරණ ලබමින් පවතී. වන සත්ත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂණ ආඥා පනත මඟින් සංරක්‍ෂණය වන ජාතික උද්‍යානය අභය භූමි ඇතුලූ රක්‍ෂිත ප්‍රදේශ රාශියක් වැදගත් තෙත් බිම් ගණයට වැටේ. මෙකී පනත යටතේ ප්‍රකාශයට පත් කර තිබෙන ශ්‍රී ලංකාවේ විශාලතම ජාතික උද්‍යානය වන විල්පත්තු ජාතික උද්‍යානය මෙන්ම වික්‌ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ අභය භූමි තුළද වැදගත් තෙත් බිම් දැකිය හැකි අතර මානව පැවැත්ම සහ පෝෂණය සඳහා මෙන්ම පරිසර සමතුලිතතාවය සඳහා සුවිශාල මෙහෙවරක් ඉටු කරයි. තවද එකී පනතේ 2009 අංක 22 සංශෝධනය 6 උප වගන්තිය අනුව මුල් පනතේ 5 උප වගන්තිය සංශෝධනය කරමින් ජාතික රක්‍ෂිත භූමියක් හෝ අභය භූමියක් අහෝසි කිරීම සඳහා පාරිසරික බලපෑම් පිළිබඳ විමර්ශනයක් සහිත අධ්‍යනයක් කළ යුතුය. මේ අනුව මෙකී පනතින් ආරක්‍ෂිත ප්‍රදේශයක් තුළ තිබෙන තෙත් බිමේ පැවැත්ම තව දුරටත් ස්‌ථායී වී ඇත. තවද නව සංශෝධිත පනත යටතේ ජාතික රක්‍ෂිත භූමි සහ අභයභූමි සඳහාසැලසුම් පිලියෙල කිරීමට කමිටුවක් පත් කිරීමේ බලය වනජීවි අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාට ලැබේ. මේ අනුව එකී ප්‍රතිපාදන හරහා වනජීවි රක්‍ෂිත ලෙස ප්‍රකාශයට පත්ව තිබෙන වැදගත් තෙත්බිම් ඉතා හොඳින් කළමණාකරණය කිරීමේ හැකියාව වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල්ට ලැබේ. එසේම එකී කළමණාකරණ සැලැස්‌ම යටතේ වූ ක්‍රියාකාරකමක් ක්‍රියාත්මක කිරීමට පෙර එයින් එකී පරිසර පද්ධතියට වන බලපෑම තක්‌සේරු කිරීමට නියම කිරිම සඳහා වු ප්‍රතිපාදන මෙකී පනතෙන් ලබා දී ඇත. එම තත්වය කෙතරම් පුළුල්ද යත් ආර්ථික බලපෑම් සහ විකල්ප ක්‍රියා මාර්ග ලැයිස්‌තුවක් තුළින් අහිතකර බලපෑම් ඉවත් කිරීම හෝ අවම කිරීම ඊට අදාල ප්‍රතිපාදන වල ඇතුළත් වේ. මේ අනුව බුන්දල මාදුගඟ වැනි ජාතික රම්සා තෙත්බිම් වල ජෛව විවිධත්වයේ සුරක්‍ෂිතභාවයට මහඟු පිටුවහලක් මෙම පනතින් ලැබේ.
තෙත්බිමකට මිනිසාගෙන් විය හැකි ප්‍රධාන තර්ජනයක් ලෙස අවිධිමත් කැළිකසල බැහැර කිරීම සැලකිය හැකිය. විශේෂයෙන් අධික ලෙස ජනාකීර්ණ වී ඇති නාගරික ප්‍රදේශ වල පිහිටි තෙත් බිම් මෙම තර්ජනයට නිරන්තරයෙන් ලක්‌වේ. 2009 අංක 22 දරණ වනසත්ත්ව
හා වෘක්‍ෂලතා ආරක්‍ෂණ ආඥා පනතේ 11 වන වගන්තිය ප්‍රකාරව එකී ප්‍රධාන පනතේ 7 වගන්තියේ සංශෝධන අනුව යම් අභය භූමියක් තුළ පිහිටි රජයේ ඉඩමකට කැලිකසළ බැහැර කිරීම හෝ බැහැර කිරීමට සැලැස්‌වීම නීති විරෝධී ක්‍රියාවකි. මේ මගින් වටිනා තෙත් බිම් තුළට කැලි කසළ සහ වෙනත් අපද්‍රව්‍ය එකතු වීමෙන් සිදුවන තෙත් බිම් විනාශය සහ ඒ තුළින් සිදුවන පරිසර දූෂණය වැළැක්‌වීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන වනසත්ත්ව
හා වෘක්‍ෂලතා ආරක්‍ෂණ ආඥා පනතෙන් ලබාදේ.
තෙත් බිම්වලට තවත් ප්‍රධාන තර්ජනයක් වනුයේ හානිදායක ලෙස සිදුකරන ගොඩ කිරීම්ය. ඉහත කී පනතේ 7 වගන්තියට 2009 අංක 22 තුළින් සිදු කරන ලද සංශෝධන අනුව යම් ඉඩමක් ගොඩ කිරීමෙහි හෝ ගොඩ කිරීමට සැලැස්‌වීමෙහි නියෑළීSම දඬුqවම් ලැබිය හැකි වරදකි. ඒ තුළින් තෙත් බිමෙහි ධාරිතාවය අඩුවීම වළක්‌වාලමින් එය සුරැකීමට මෙම නව සංශෝධන සහිත වන සත්ත්ව
හා වෘක්‍ෂලතා ආරක්‍ෂණ පනත මගින් ප්‍රතිපාදන සැලසී ඇත.
එසේම මෙම පනතේ 7 වගන්තිය අනුව යම් අභය භූමියක රජයේ ඉඩමක් තුළ යම් ස්‌ථිර හෝ තාවකාලික ගොඩනැගිල්ලක් ඉදි කිරීම හෝ ඉදි කිරීමට සැලැස්‌වීම හෝ එහි පදිංචිවීම මෙන්ම යම් පාරක් හෝ අඩි පාරක් ඉදි කිරීම ඉදි කිරීමට සැලැස්‌වීමද එකී පාර භාවිතා කිරීමද වරදක් වේ. මේ අනුව රම්සා තෙත් බිමක් වන මාදුගඟ අභයභූමියටද තවත් වැදගත් තෙත්බිම් වන මුතුරාජවෙල, බෙල්ලන්විල අත්තිඩිය අභයභූමි සඳහාද මෙම පනතේ රැකවරණය ලැබේ.
තවද 2009 අංක 22 දරණ සංශෝධන අනුව වනසත්ත්ව
හා වෘක්‍ෂලතා ආඥා පනතේ 6 වන උප වගන්තිය ප්‍රකාරව අවසර පත්‍රයක් නොමැතිව වනජීවි රක්‍ෂිතයක් තුළ ඉදි කිරිම හෝ භාවිතා කිරීම මෙන්ම යම් ජාතික රක්‍ෂිතයක ඇති ඉඩමකට ඒ හරහා දිවෙන යම් දිය පාරක ගංගාවක හෝ දොල පාරක ජලයට යම් විෂ ද්‍රව්‍යක්, අපද්‍රව්‍ය, කැලිකසල හෝ ජලය දූෂණය කිරීමට ඉඩ ඇති වෙනත් යම් ද්‍රව්‍යක් එක් කිරීම දඬුqවම් ලැබිය හැකි වරදක් වේ. තෙත්බිමේ ප්‍රධාන සංඝටකයක් වන ජල පද්ධතිය ආරක්‍ෂා කිරීම මෙම පනිතින් සලසා තිබෙන ප්‍රතිපාදන කොතරම් ඉහළ මට්‌ටමකද යන්න මෙයින් අවබෝධ වේ. තවද ඉහත කී උප වගන්තිය අනුව ජලය දූෂණය කළ හැකි යම් ක්‍රියාකාරකමක් කිරීම ද අවසර පත්‍රයක් නොමැතිව කිමිඳීම හෝ බෝට්‌ටු පැදීමද තහනම් ක්‍රියාවකි.
තෙත් බිම් වලට වර්තමානයේ සිදුවී තිබෙන තවත් සුවිශේෂ තර්ජනයක් වනුයේ ආගන්තුක සත්ත්ව
හා ශාඛ විශේෂ බලහත්කාරීව හා අධිවේගීSව ප්‍රචාරණය වීමත් ඒ තුළින් තෙත් බිමේ ස්‌වභාවික පරිසර පද්ධතියට එහි ජෛව ඒකක වල ක්‍රියාකාරිත්වයට දැඩි ලෙස බලපෑම් සිදු කිරීමයි. මෙම තත්වය පාලනය කිරීම සඳහා වනසත්ත්ව
හා වෘක්‍ෂලතා ආරක්‍ෂණ ආඥා පනත යටතේ අධ්‍යක්‍ෂක ජනරාල්වරයාට බලය තිබේ.
තෙත් බිමක සුලබව දැකිය හැකි ජීවි ඒකකයක් වනුයේ මත්ස්‍යය ප්‍රජාවයි. මෙම මසුන් ඇල්ලීම සම්බන්ධවද ඉහත කී පනතින් පාලනයක් සිදුකර ඇත. මේ අනුව නියමිත නිලධාරියාගේa අවසර පත්‍රයක් නොමැතිව මසුන් ඇල්ලීම නීති විරෝධී වන අතර 2009 සංශෝධන අනුව එම අවසර පත්‍රය ලබා දීමද පරිසර පද්ධතියට වන බලපෑම සැළකිල්ලට ගෙන සීමා කළ හැක. මේ අනුව ජාතික රක්‍ෂිත ප්‍රකාශයට පත් කර ඇති තෙත් බිමක ඉහත සංරක්‍ෂණ ක්‍රියාව සිදුවේ.
තෙත් බිම්වල ප්‍රධාන වශයෙන් ඇතිවිය හැකි ශාක විශේෂයක් ලෙස කඩොලාන දැක්‌විය හැක. කපා ඉවත් කිරීම මගින් එම තෙත් බිමට විශාල හානියක් සිදුවේ. එහෙත් මෙම පනතේ 7 උප වගන්තිය අනුව යම් සතකුට හෝ ශාඛයකට හානි කිරීමේ හෝ ඒ සඳහා යම් දෙයක් පාවිච්චි කිරීම, එකී දෙය සන්තකයේ තබා ගැනීම වරදක් වේ. මේ අනුව රක්‍ෂිත ලෙස ප්‍රකාශයට පත්කර ඇති තෙත් බිමක ශාඛ හා සත්ව සංරක්‍ෂණයට වන සත්ත්ව
හා වෘක්‍ෂලතා ආරක්‍ෂක ආඥා පනත දායක වේ.
මිනිසාගේ අක්‍රමවත් හා අවිධිමත් ක්‍රියාකාරකම් හේතුවෙන් තෙත් බිම් වලට සිදුවන තවත් තර්ජනයක් වනුයේ විවිධ ඛණිජ ද්‍රව්‍ය ඉවත් කිරීමයි. තෙත් බිම් වල දිය පහරවල් ආශ්‍රිතව වැලි ගොඩ දැමීම මේ සම්බන්ධ තවත් සිද්ධියකි. වනජීවි රක්‍ෂිතයක් තුළ මෙම ක්‍රියාකාරකම් නීති විරෝධී වීම තුළින් මෙම පනත මඟින් රක්‍ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇති තෙත් බිම් සඳහා පූර්ණ ආරක්‍ෂාව ලැබී ඇත.
එසේම ජාතික රක්‍ෂිතයක මායිමේ සිට සැතපුම් එකක දුරක් ඇතුලත පෞද්ගලික හෝ රජයේ හෝ යම් තැනැත්තෙකු හෝ සංවිධානයක් විසින් සංවර්ධන ක්‍රියාකාරකම් සිදු කිරීමේදී වනජීවී අධ්‍යක්‍ෂක ජනරාල්ගේ පූර්ව ලිත අනුමැතිය ලබාගත යුතු බවට මෙම පනතේ 9 වන උපවගන්තිය මඟින් ප්‍රතිපාදන ලබා දී ඇත. මේ තුළින් රක්‍ෂිතයක් ලෙස නම් කර ඇති තෙත් බිමක් ගොඩබිමේ හෝ වෙනත් ආකාරයේ ආපදාවට ලක්‌වීමේ අවධානම අවම කර ඇත. මෙහිදී එකී සංවර්ධන ක්‍රියාකාරකමට පෙර මූලික පාරිසරික සමීක්‍ෂණ වාර්තාවක් හෝ පාරිසරික බලපෑම් පිළිබඳ තක්‌සේරු වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර එකී වාර්තාවට ප්‍රතිචාර දැක්‌වීමට මහජනතාවටද අවස්‌ථාව ලැබී ඇත. මේ අනුව එකී රක්‍ෂිතය තෙත් බිමක් නම් එහි සංරක්‍ෂණයට මෙන්ම කළමණාකරණයට දායක විමට මහජනතාවටද අවස්‌ථාව මෙම පනතෙන් ලැබී ඇත.
තෙත්බිම් වල සුලබව දැකිය හැකි ජීවී විශේෂ වන ක්‍ෂීරපායින්, උරගයන්, පක්‍ෂීන් සංරක්‍ෂණය සඳහාද මෙම පනතින් දායකත්වය ලැබී ඇත. විශේෂයෙන් පනතේ 30 සහ 31 උපවගන්ති වලට අනුව රක්‍ෂිතයකින් පිටත ප්‍රදේශයක වුවද ඉහත ජීවින් සඳහා ආරක්‍ෂාව ලැබී ඇත. මේ අනුව 30 උපවගන්තිය ප්‍රකාරව ක්‍ෂීරපායී සතකු හෝ උරගයකුද 31 උප වගන්තිය අනුව පක්‍ෂියකද= මරණ හෝ අල්ලන හෝ සන්තකයේ තබා ගන්නා අයකු අධිකරණය හමුවේ වරදකරුවකු බවට පත්කළ හැක. ඒ තුළින් තෙත්බිම් වල සමතුලිත පරිසර පද්ධතියක් පවත්වාගෙන යාමට මෙම පනතින් දායකත්වය ලැබේ. මෙහිදී එවැනි ජීවියෙකුගේ බිත්තර, කූඩුවක් හෝ ශරීරයේ කොටසක් හෝ ලඟ තබා ගැනීම වරදක් බවට සැලකේ. එසේම 31 උප වගන්තිය අනුව උභය ජීවියෙකුට මෙන්ම මත්ස්‍යයින්ටද මෙම ආරක්‍ෂාව සැලසී ඇත.
එසේම මෙම පනතේ 52 උපවගන්තිය අනුව සතුන් සිරිත් පරිදි දිය බීමට එන දිය කඩිත්තක් හෝ ස්‌ථානයක සිට යාර සියයක දුර ප්‍රමාණයක් ඇතුලත දී යම් තැනැත්තකු විසින් සතෙකුට වෙඩි තැබීම, තුවාල කිරීම හෝ එම සතා මැරීම නොකළ යුතුය. මේ මගින් තෙත් බිම් වෙත පැමිණෙන ජීවින්ගේ ආරක්‍ෂාව පවා වනසත්ත්ව
හා වෘක්‍ෂලතා ආරක්‍ෂක ආඥා පනතෙන් සලසා ඇත.
තවද මෙම පනතේ 66 උප වගන්තිය අනුව ඉහත කී ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීමට බලය පවරා තිබෙන සහ විධිමත් ලෙස පත් කර ඇති නිලධාරීන් අධිකරණ නඩු විභාගයකදී ඇත්ත සඟවා කථා කිරීම, තම කාර්ය ඉටු කිරීම ඕනැකමින්ම අතපසු කිරීම හෝ පැහැර හරින නැතහොත් මෙම ආඥා පනත යටතේ යම් වරදක් සම්බන්ධයෙන් වාර්තා කිරීමෙහිලා තම තම යුතුකම ඕනෑකමින්ම පැහැර හරින හෝ වරදක් කිරීම සඳහා අනුබල දෙන නිලධාරියෙක් වරදක් සිදු කරන අතර අධිකරණයකදී වරදකරු වූ විට මුදල්මය දඩයකට මෙන්ම බන්ධනාගාර ගත කිරීමකට යටත් ඟෙ. මේ අනුව තෙත්බිම් සුරැකීමට සිටින නිලධාරින්ට තම රාජකාරිමය වගකීම ඉටු නොකර සිටීමට විරුද්ධව මෙම පනත නැගී සිටී.
එසේම මෙකී පනතේ 67 උපවගන්තිය මඟින් දේශීය මුහුදු තීරයේ සංරක්‍ෂණ කටයුතු සඳහා ප්‍රතිපාදන ලබා දී ඇත. දේශීය මුහුදු තීරය කරදිය තෙත් බිම් ගණයට වැටෙන අතර ඒවායේ ආරක්‍ෂාව මේ තුළින් සහතික කෙරේ.
තවද ඉහත කී 67 උප වගන්තිය අනුව මෙකී පනත යටතේ පත් කර ඇති වනජීවි නිලධාරින් සාම නිලධාරින් වන අතර 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ඞෂ වන පරිච්ඡේදය විධි විධාන ක්‍රියාත්මක කිරීමට වනජීවි නිලධාරින්ට බලතල ලැබී ඇත. මේ යම් සැක කටයුqතු පුද්ගලයෙකු සෘජුවම අත්අඩංගුවට ගැනීමට සහ නීතියට අනුකූලව ගරු අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමට ප්‍රතිපාදන සැලසී ඇත. මේ අනුව රක්‍ෂිත ලෙස ප්‍රකාශයට පත්කර ඇති තෙත් බිම් පමණක් නොව එසේ ප්‍රකාශයට පත් නොකළ තෙත් බිම්ද සුරැකීම වන සත්ත්ව
හා වෘක්‍ෂලතා ආරක්‍ෂක ආඥා පනතින් ප්‍රතිපාදන සලසා ඇත.
මෙම පනත යටතේ සංරක්‍ෂණය වන ප්‍රධාන අන්තර්ජාතික රම්සා තෙත්බිම් ලෙස බුන්දල, මාදුගඟ, ආනවිලුන්දාව දැක්‌විය හැකි අතර ඊට අමතරව යාල, ගල්ඔය, වස්‌ගමුව, උඩවලව, විල්පත්තුව,ලූණුගම්වෙහෙර, හික්‌කඩුව, මනම්පිටිය, හොරගොල්ල, කවුඩුල්ල කෙත් බිම් සහිත ජාතික උද්‍යාන වේ. එසේම මුතුරාජවෙල, බෙල්ලන්විල, තලමැටිය, වික්‌ටෝරියා, රන්දෙනිගල, රංටැඹේ ආදී තෙත් බිම් සහිත අභය භූමි රාශියක් දිවයින පුරා මෙම පනත මඟින් ස්‌ථාපිත කර ඇති අතර සංරක්‍ෂණ ප්‍රතිලාභ ලබමින් සමතුලිත පරිසර පද්ධතියක් පවත්වාගෙන යයි.
1969 දෙසැම්බර් 05 වන දින අභය භූමියක් ලෙසටත් 1993 ජනවාරි 04 දින ජාතික උද්‍යානයක් බවට පත්වූ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම රම්සා තෙත්බිම ලෙස 1990 වර්ෂයේ ඔක්‌තෝම්බර් 15 වන දින ප්‍රකාශයට පත් කෙරුණු බුන්දල ජාතික උද්‍යානය සතු කලපු පද්ධතිය ඉන්දු ආසියා පක්‍ෂි සංක්‍රමණ මාර්ගයේ නවාතැනක් බවට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ දකුණු පලාතේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ පිහිටා ඇති මෙම රම්සා තෙත් බිමේ වර්ග ප්‍රමාණය හෙක්‌ටයාර් 6216 ක් පමණ වේ. එහි තිබෙන ප්‍රධාන කලපු ලෙස මලල බුන්දල දැක්‌විය හැකි අතර ඒ ආශ්‍රිත වගුරු බිම් සහ තෘණ බිම් සංක්‍රමණික සුන්දර සුවපහසු නවාතැනක් සපයයි. වන සත්ත්ව
සහ වෘක්‍ෂලතා ආරක්‍ෂක ආඥා පනතේ රැකවරණය ලබමින් බුන්දල ජාතික උද්‍යානය නමැති අන්තර්ජාතික රම්සා තෙත් බිම ශ්‍රී ලංකාවට ආර්ථික, සංස්‌කෘතික මෙන්ම මෙන්ම සමාජයීය දායාදයක් බවට පත්ව ඇත.
අප මව්බිමේ තවත් රම්සා තෙත් බිමක් වන මාදුගඟ අභය භූමියක් ලෙස 2006 ජුනි 20 දින ප්‍රකාශයට පත්වූ අතර 2003 දී එය රම්සා තෙත් බිමක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. ප්‍රමාණයෙන් හෙක්‌ටයාර් 2300 ක් විශාලත්වය දරමින් දකුණු පලාතේ ගාල්ල දිස්‌ත්‍රිකක්‌යේ බලපිටිය සහ කරන්දෙනිය ප්‍රාදේශීය ලෙකම් කොට්‌ඨාශ වල මෙය පැතිරී ඇත. අභ්‍යන්තර තෙත්බිම් රාශියකින් මෙන්ම දූපත් විශාල සංඛ්‍යාවකින් මෙය සමන්විත වේ. මෙහි බහුලව කඩොලාන ශාක ප්‍රජාව දැකිය හැකිය. ඊට අමතරව ශ්‍රී ලංකාවට ආවේණික මෙන්ම වඳවීමේ තර්ජනයට ලක්‌වූ ජීවි විශේෂ දැකිය හැකි මෙම තෙත්බිම වනසත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක ආඥා පනතින් රැකවරණය ලබන අභය භූමියකි. දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් සඳහා සෞන්දර්යාත්මක වටිනාකමක් මෙන්ම දේශීය ජනතාවගේ ආර්ථික දායාදයක් බවට මෙය පත්ව ඇත.
පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ පිහිටා තිබෙන අනවිලුන්දාව රම්සා තෙත්බිම 1997 ජුනි 11 දින වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් වනසත්ත්ව
හා වෘක්‍ෂලතා ආරක්‍ෂක ආඥා පනත යටතේ අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත්කළ අතර 2001 අගෝස්‌තු 03 දින රම්සා තෙත් බිමක් ලෙස පිළිගන්නා ලදී. මෙය සංක්‍රමණික පක්‍ෂීන්ගේ නවාතැන් පොලක් මෙන්ම ඓතිහාසික සංස්‌කෘතික මෙන්ම ආර්ථික ප්‍රතිලාභ ලබාදෙන තෝතැන්නක් වී ඇත.
අධ්‍යාපන හා සංරක්‍ෂණ කලාපයක් ලෙස 1980 දී නාගරික සංවර්ධන අධිකාරිය විසින් හඳුනාගත් බෙල්ලන්විල අත්තිඩිය අභය භූමියක් ලෙස 1990 ජුQලි 25 දින ප්‍රකාශයට පත්විය. හෙක්‌ටයාර් 372 පමණ බිම් ප්‍රදේශයක් ඇති මෙය ආසියාවේ වැදගත් තෙත්බිම් නාමාවලියට ඇතුලත් කෙරේ. මෙහි ඇති වගුරු බිම් බෙල්ලන්විල, බොරලැස්‌ගමුව, පැපිලියාන, නැදිමාල, නුගේගොඩ, ආදී ප්‍රදේශ වලට එකතු වන වැසි ජලය රඳවා තබා ගැනීමේ රැස්‌පොන්ජ එකක් ලෙස ක්‍රියාත්මක ඟෙ. අභය භූමියක් තුළ රජයේ ඉඩම් මෙන්ම පුද්ගලික ඉඩම් තිබිය හැකි බවත් එකී පුද්ගලික හෝ රජයේ ඉඩම් සඳහා වන සත්ත්ව
හා වෘක්‍ෂලතා ආඥා පනතේ 7 වන උප වගන්තිය ක්‍රියාත්මක වන බව ජනතාව අවබෝධ කරගත යුතු කරුණක් වේ.
1996 ඔක්‌තෝම්බර් 31 දින හෙක්‌ටයාර 1285. 8 ක් සහිත ප්‍රදේශයක විහිදී ඇති මුතුරාජවෙල අභය භූමියක් ලෙස වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලදී. ජා ඇල, වත්තල, කටාන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ තුල පැතිරී ඇති මෙය ආශ්‍රිතව සුප්‍රසිද්ධ "හැමිල්ටන්" ඇළ පවතී. ආසියානු තෙත් බිම් ලැයිස්‌තුවේ 41 වන ස්‌ථානයට පත්වී ඇති මෙය සංක්‍රමණික පක්‍ෂීන්ගේ කදිම නවාතැන් පොලකි.
ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ හික්‌කඩුව ප්‍රදේශයේ තිබෙන හික්‌කඩුව ජාතික උද්‍යානය අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්ධ වී ඇත්තේ සුවිශේෂී කොරල් සහිත පරිසර පද්ධතියක් වශයෙන් වන අතර එය වැදගත් කරදිය තෙත් බිමකි.
එසේම ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ නිට්‌ටඹුව ප්‍රදේශයේ තිබෙන හොරගොල්ල ජාතික උද්‍යානය තුලද ඉතා ආකර්ශණීය අභ්‍යන්තර තෙත්බිම් දැකිය හැක. මීට අමතරව වනසත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂණ ආඥා පනතේ 2 උප වගන්තිය යටතේ රක්‍ෂිත ලෙෂ ප්‍රකාශයට පත් කර තිබෙන ජෛව විවිධත්වය අතින් ඉතාමත් ඉහළ මට්‌ටමක පවතින ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිශාල දායකත්වයක් දක්‌වන තෙත්බිම් ලෙස ලුණුගම්වෙහෙර, කවුඩුල්ල, මින්නේරිය, සෝමාවතිය, වස්‌ගමුව, උඩවලව, විල්පත්තුව, ගල්ඔය ආදී ජාතික උද්‍යාන හැඳින්විය හැක.
මේ අනුව වනසත්ත්ව
හා වෘක්‍ෂලතා ආරක්‍ෂක ආඥා පනත ශ්‍රී ලංකාවේ තෙත්බිම් සංරක්‍ෂණයට සෘජුවම හා සක්‍රීයව සපයන දායකත්වය අප මඟ බිමේ ජෛව විවිධත්වය සුරකිමින් පරිසරය සමතුළිතව තබා ගැනීමටත් , ඒ තුළින් දේශීය හා විදේශීය සංචාරකයින් ආකර්ශණය දිනා ගැනීමටත් හේතු වේ. මෙය ආශ්චර්යමත් ශ්‍රී ලංකාවක් කරා යන ගමනේදී අතිශයින්ම වැදගත් මාර්ගෝපදේශයක් සපයන බව ඉඳුරාම කිව යුතුවේ.
නීතීඥ ඩබ්ලිව්. ඒ. ලලිත් කුමාර.
බී. එස්. සී. (කෘෂි), ඩිප්ලෝමා (වනජීවි කළමණාකරණ)
එම්. එස්. සී.(ජෛව විවිධත්ව සංරක්‍ෂණ)
එල්. එල්. බී. (ශ්‍රී ලංකා)
වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ගම්පහ.