ලෝක ගෝලය ගංවතුරේ ගිලී යයිද?
ශ්‍රී ලංකාව ගංවතුර
පසුගිය වසර ආරම්භ වූයේ අපේ රටේ ප්‍රදේශ රැසකට ගංවතුර තර්ජන එල්ල කරමිනි. වසර අවසානය ද ඊට දෙවැනි නොවීය. ඊසාන දිග මෝසම 2010 වසර මුලදී මෙන්ම අගදී ද ශ්‍රී ලාංකිකයන්ට විපත් ගෙන දුනි. පසුගිය මාසයේ පුද්ගලයන් 38000 ක් පමණ ජල ගැල්මෙන් පීඩාවට පත් විය. සහන කඳවුරු 43 ක් පවත්වාගෙන ගිය අතර ඒවායෙහි 3000 කට වැඩි පිරිසක් තාවකාලිකව නවාතැන් ගෙන තිබිණි.
පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, අම්පාර, හම්බන්තොට, මොනරාගල, මන්නාරම, මඩකලපුව දිස්‌ත්‍රික්‌කවල ජලගැලීම් පැවැති අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වැව් හා ජලාශ බොහෝමයක් ද සෙසු ජලාශ ද වාන් දමා පිටාර ගලන්නට විය. පහත් බිම්, ගොවි බිම්, වගා බිම් එම ජලයෙන් යටවී විනාශ වූ අතර එයින් ගොවීහු දැඩි අසීරුතාවට පත්වූහ.
නියඟය
වසරේ මැද මාස ගණනක්‌ම දැඩි වියළි ස්‌වභාවයක් පැවතීම හා ප්‍රමාණවත් තරම් ජලය නොමැතිකමින් පීඩාවට පත්ව සිටි ගොවි ජනතාවට මෙවර මහා කන්නයේ ගොවි කටයුතු ආරම්භ කිරීමට සිදු වූයේ මාසයක් පමණ ප්‍රමාද වීමෙනි. එසේ ප්‍රමාදවී ආරම්භ කළ ගොවිතැන ජල ගැල්මට ද හසුවීමෙන් ගොවි ජනතාව කබලෙන් ලිපට වැටුණි. වියළි කාලගුණය හේතුවෙන් ජලාශ රැසක් සිඳීගිය අතර වනසතුන් ද ජලය නොමැතිව මියගොස් තිබිණි. පානීය ජලය පවා නොමැතිව ප්‍රදේශ රැසක ජනතාව දැඩි ලෙස පීඩනයට පත්විය.
තේන් සුළි කුණාටුව
ඊසාන දිග මෝසම සක්‍රීයව පවතිද්දී දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ සුළු කැළඹිලි තත්ත්වයක් හටගත්තේ මීට සති දෙකකට පෙරය. පසුව එය අවපීඩන පද්ධතියක් ලෙස වර්ධනය වූ අතර පසුගිය අඟහරුවාදා වන විට එය ඉතාම සැඩපරුෂ සුළි කුණාටුවක් බවට පරිවර්ථනය විය. ඊට තේන් (ඔය්බැ) ලෙස නමක් ද යෙදුණි.
අපගේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිගින් දිගටම අනතුරු ඇඟවීම් සිදු කළේ, මන්නාරම, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව දිස්‌ත්‍රික්‌ක ආශ්‍රිත වෙරළ තීරය හා ඉන් ඔබ්බට මුහුදු ප්‍රදේශ රළු වන බවයි. එම තත්ත්වය දින තුනක් එක ලෙසම පැවතිණි. පසුගිය බ්‍රහස්‌පතින්දා (29 වැනිදා) වන විට දිවයිනෙන් තරමක් දුරින් පිහිටි මෙම සුළි කුණාටුව කිලෝමීටර් 300 ක් දක්‌වා යළිත් යාපනය දිස්‌ත්‍රික්‌කය දෙසට ළං විය. ඒ සමගම යාපනයට වැසි හා සුළං හට ගැනුණි. මන්නාරම වෙරළ ආශ්‍රිත දිය රැළි ඉහළ නංවමින් ගොඩබිම දෙසට ද ගලන්නට විය.
වාර්තාගත සීතල
වැස්‌ස හා සුළඟ එසේ වෙද්දී වසර 61 කට පසුව කොළඹ දිස්‌ත්‍රික්‌කයට වැඩිම සීතල පසුගිය බ්‍රහස්‌පතින්දා (28 වැනිදා) හිමිදිරියේ දැනුණි. ඒ අවස්‌ථාවේ කොළඹ උෂ්ණත්වය සෙල්සියස් අංශක 18.2 ක් ලෙස සටහන් වී තිබිණි. 1950 ජනවාරි 04 වැනිදා කොළඹ උෂ්ණත්වය සෙල්සියස් අංශක 15.2 ක් ලෙස සටහන් විය. එහෙත් දෙසැම්බර් මාසයක වැඩිම සීතලක් කොළඹට දැනුණේ මීට වසර 91 කට පෙරය. එනම් 1920 දෙසැම්බර් මාසයේදීය. මෙම සීතල සමග පසුගිය බ්‍රහස්‌පතින්දා හිමිදිරියේ කොළඹ අවට ප්‍රදේශ රැසක් මීදුමින් වැසී තිබිණි.
කොළඹට එතරම් සීතල දැනෙද්දී කවදත් සීතල වැඩි නුවරඑළියේ සීතල දෙගුණ තෙගුණ විය. නුවරඑළියේ උෂ්ණත්වය පසුගිය සිකුරාදා සෙල්සියස් අංශක 7.7 ක් ලෙස වාර්තා වී තිබිණි. නුවරඑළියට වැඩිම සීතලක් මීට පෙර දැනී තිබුණේ 1880 දී ය. ඒ අවස්‌ථාවේ නුවරඑළිය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.1 ක් විය.
මෙම සීතලට හේතුව ලෙස කාලගුණ විද්‍යාඥ අනුෂා වර්ණසූරිය මහත්මිය සඳහන් කළේ ඉන්දියාවට මේ දිනවල දැඩි සීතල කාලගුණික තත්ත්වයක් බලපාන බවත්, ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට සුළං හමා එන බැවින් දැඩි සීතලක් අපට දැනෙන බවත් ය. දින ගණනක් එක දිගට වැසි පැවතීම, අහස වළාකුලින් බරව පැවතීම, සුළි කුණාටුවේ බලපෑම් මෙන්ම රාත්‍රි කාලයේ අහස වළාකුළු රහිත වීමෙන් පොළොව සිසිල් වීම යන අතුරු කාරණා ද ශ්‍රී ලංකාවේ සීතලට හේතුව බව වර්ණසූරිය මහත්මිය කීවාය.
ඉන්දියාව - තායිලන්තය
ජල ගැලීම්
තායිලන්තයට පසුගිය නොවැම්බර් මාසයේ දැඩි වර්ෂාවත් සමග ජල ගැලීම් ඇති වූ අතර එයින් ලක්‍ෂ 34 ක් ජනතාව විපතට පත්විය. බැංකොක් නගරය මුළුමනින්ම ජලයෙන් පිරී ගිය අතර එරට ආර්ථිකය ද සීග්‍රයෙන් පහත වැටුණි. කර්මාන්ත ශාලා ගණනාවක් ද ජලයෙන් යට විය. බැංකොක්‌වල සිට කිලෝමීටර් සියයක් පමණ දුරින් පිහිටි අයූත්‍යා ප්‍රදේශයට ද ජල ගැල්ම බලපෑ අතර විශාල පරිමාණයේ කර්මාන්ත ශාලා, ප්‍රධාන ගොඩනැඟිලි රැසක් ඊට ගොදුරු විය. හොන්ඩා බීජිං වර්ගයේ මෝටර් රථ කර්මාන්ත ශාලාවට ද එයින් සිදුවූ බලපෑම අති විශාලය. සාදා නිම කරන ලදුව වෙළෙඳ පළට නිකුත් කිරීම සඳහා කර්මාන්ත ශාලා පරිශ්‍රයේ පෙළගස්‌වා තිබූ හොණ්‌ඩා බීජිං මෝටර් රථ දහසක් මුළුමනින්ම ජලයට යට වී තිබිණි. මසකට පසුව ජලය බැස යැමෙන් පසු එම මෝටර් රථ අංගනයේ දර්ශනය වූයේ රොන්මඩින් වැසී ගිය මෝටර් රථ දහසකි. එම එකදු මෝටර් රථයක්‌වත් අලුත්වැඩියා කිරීමට හෝ කෑලි අලෙවි කිරීමට හෝ නොහැකි තරමට මුළුමනින්ම විනාශ වී තිබිණි. අවසානයේ කර්මාන්තශාලා හිමිකරුවන් එම මෝටර් රථ දහසම කසළ ලෙස ඉවත් කරනු ලැබීය.
තායිලන්තයේ "සෝනි" කර්මාන්ත ශාලාව ද මුළු ගොඩනැඟිල්ලෙන් හතරෙන් තුනක ප්‍රමාණයක් ජලයෙන් පිරී තිබුණු අතර එහි නිෂ්පාදිත විශාල ප්‍රමාණයක් විනාශයට පත් විය.
තායිලන්තයට වසර 50 ක අත්දැකීම් ජල ගැලීම් සම්බන්ධයෙන් ඇති අතර 700 කට වැඩි පිරිසක් එම ජල ගැලීම් හේතුවෙන් මියගොස් තිබේ. එම ජල ගැලීම් තායිලන්තයේ මෙන්ම පොදුවේ ගත් කල ගෝලීය ආර්ථිකයට තදින්ම බලපාන්නකි.
මෙවර ජල ගැල්මෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම හා ජල කළමනාකරණය සඳහා තායිලන්ත කැබිනට් මණ්‌ඩලය බාත් බිලියන 350 ක් වෙන්කරනු ලැබීය.
පිලිපීනය ගංවතුර
පසුගිය මස 16, 18 දිනවල පිලිපීනයට ඇති වූයේ දරුණු වැසි තත්ත්වයකි. වැසි සමග සුළං ද බලපෑ අතර එම වර්ෂාවේ තීව්‍රතාව ඉහළ මට්‌ටමක පැවති බැවින් ජල ගැල්මක් ඇති වීමට වැඩි කාලයක් ගත වූයේ නැත. පවුල් පිටින් ජනයා උන්හිටි තැන් අතහැර ආරක්‍ෂක ස්‌ථාන කරා අනෝරා වැස්‌සේම ගමන් කළ අතර පුද්ගලයන් 44000 ක් පොදු පාසල්, ගොඩනැඟිලි ආදියෙහි තාවකාලිකව රඳවා තැබිණි. ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා එකට ගුලිවී එම ගොඩනැඟිලිවල අවම පහසුකම් යටතේ දැඩි ලෙස පීඩාකාරීව සිටීමට විපතට පත් ජනතාවට සිදුවිය.
මෙම විපතින් පුද්ගලයන් 340000 ක් (තුන්ලක්‍ෂ හතළිස් දහසක්) අවතැන් වූ අතර වැඩි පිරිසක් කුඩා කූඩාරම් තනා ගනිමින් රැඳී සිටියහ. පිලිපීනයේ දකුණු ප්‍රදේශයට නායයැම් තත්ත්වයක් ද දරුණු ලෙස බලපෑ අතර නිවාස දේපළ ගස් කොළන් පස් කඳුවලට යටවිය.
ජල ගැලීම් හා නායයැම් හේතුවෙන් දින දෙක තුනක් ඇතුළත පුද්ගලයන් 1250 ක් පමණ පිලිපීනයේ මියගිය බව වාර්තා විය.
දකුණු ඇමැරිකාව
දකුණු ඇමරිකාවේ ටෙක්‌සාස් ප්‍රාන්තයේ දැඩි වියළි ස්‌වභාවයක් පැවැති බව වාර්තා වූ අතර ලැව් ගිනි ද ඇති විය.
අනෙකුත් රටවල්
උතුරු යුරෝපය, උතුරු චීනය, රුසියාව යන රටවල ද ප්‍රදේශ ගණනාවක් වියළි කාලගුණික තත්ත්වයට මුහුණදී තිබිණි. දැඩි උණුසුම උසුලා ගන්නට නොහැකිව දිවා කාලයේ ජලාශ, ජල ටැංකි, වෙරළ තීරවල දියේ ගිලී වැඩි වේලාවක් ගත කිරීමට එම රටවල ජනතාවට සිදුවිය.
කාබන් විමෝචනය
ලෝකයේ ස්‌වභාවික විපත් සීග්‍ර ලෙස ඉහළ යැමත් සමග කාබන් විමෝචනය ද ඉහළ යැම භයානක තත්ත්වයකි. පසුගිය වසරේ මැයි මාසයේ පමණක් ඒකක මිලියන 394 ක් කාබන් මුදාහැර තිබිණි. ගෝලීය උණුසුම ඉහළ යැමට ප්‍රධාන හේතුව කාබන් විමෝචනය නැත්නම් කාබන් වායුගෝලයට මුදාහැරීම ය. මෙයින් පැහැදිලි වන්නේ ගෝලීය උණුසුම තවදුරටත් ඉහළ යනු මිස පාලනයක් නොවන බවයි.
ඩර්බන් දේශගුණ සමුළුව
කාලගුණික හා දේශගුණික තත්ත්වයන් මෙසේ තිබියදී ගෝලීය උණුසුම ඉහළ යැමට විසඳුම් සෙවීම සඳහා පැවැති ජගත් දේශගුණ සමුළුව ඇල් මැරුණු ස්‌වභාවයක් ගත් බවට තතු හෙළිදරව් විය. මෙම සමුළුව පසුගිය මාසයේ 19 වැනිදායින් අවසන් වූයේ පුරා සති දෙකක් සාකච්ඡා වට ගණනාවක් ද පැවතීමෙන් අනතුරුවය. මෙය දකුණු අප්‍රිකාවේ ඩර්බන් හි පැවතිණි.
හරිතාගාර වායු විමෝචනය සීමා නොකළ හොත් ස්‌වාභාවික විපත්වල වේගය තවදුරටත් වැඩි වන බව පර්යේෂකයින් පෙන්වාදී ඇති නමුත් එම තත්ත්වය පාලනය කිරීමට ලෝක බලවතුන්ගේ සහාය නොලැබීම විශාල අර්බුදකාරී තත්ත්වයකි. වායුගෝලයට වැඩිපුරම කාබන් මුදාහරින ඇමරිකා එක්‌සත් ජනපදය මෙතෙක් එය පාලනය කිරීම සඳහා ඒ වෙනුවෙන් බැඳී සිටින කියෝමෝ සන්ධානය සමග එකඟතාවකට නොපැමිණි අතර මෙවර ජගත් දේශගුණික සමුළුවේදී ද ඊට එකඟව අත්සන් තබා නැත. මෙතෙක් එකඟතාව පළකර තිබූ කැනඩාව මෙවර කියෝචෝ සන්ධානයෙන් ඉවත් වූ අතර රුසියාව ඊට සහාය පළ කරනු ලැබීය.
මෙම තත්ත්වය හමුවේ තවදුරටත් වේගවත් වන ස්‌වභාවික විපත්වලට වැඩි වශයෙන් ගොදුරු වීමට මිනිස් ප්‍රජාවට සිදුවනු ඇත. එයින් වැඩිම බලපෑම එල්ල වන්නේ පරිසරයට අවම වශයෙන් හානි සිදුකරන ආසියාතික රටවල්වල ජනයා වීම ශෝචනීය තත්ත්වයකි.
තුෂාරී කළුබෝවිල
No comments:
Post a Comment