නිල්ගල මහ වන බිමේ අක්‌කර 505ක් ඉවත් කර
පවුල් 400ක් පදිංචි කරවීමේ සූදානමක්
ලංකාවේ අනන්‍ය ජෛව කලාප හතරක් පිහිටා තිබේ. දුම්බර අඩවිය, මධ්‍ය කඳුකරය, සබරගමුව හා රක්‌වාන කඳුකරය සහ ඌව පතන් බිම් ඒ අනන්‍ය ජෛව කලාප හතර ය. මේ එක් එක් කලාපයට ආවේණික ජීවී විශේෂ වාර්තා වන අතර මේ නිසා ම අනන්‍ය ජෛව කලාප ලෙස හඳුන්වනු ලැබේ.
මේ අනන්‍ය ජෛව කලාප අප රටේ භූ ඉතිහාසය, ප්‍රාග් ඓතිහාසික සාධක මෙන් ම ජීවී ෆොසිල සම්භාරයකින් සමන්විත සුවිශේෂී ප්‍රදේශ වෙයි. මේ නිසා මේ ප්‍රදේශයන්හි ඇති වටිනාකම් මිල කළ නොහැකි තත්ත්වයක පවතී.
එසේ වුව ද ඌව පතන් බිම් ලෙස හඳුන්වන බදුල්ල, මොණරාගල ප්‍රදේශයන්හි ව්‍යාප්ත ව ඇති පතන් බිම් ආශ්‍රිත පරිසර පද්ධති අද වන විට දැඩි තර්ජනයකට ලක් ව තිබේ. වසරක් පාසා ගිනි තැබීම්වලට ලක් වීම හා උක් වගාව ඇතුළු විවිධ වාණිජ වගාවන් සඳහා යොදා ගැනීම මේ වනාන්තරවල පැවැත්මට ඇති ප්‍රධාන අභියෝගයකි.
ඒ තත්ත්වය තවත් දෙගුණ තෙගුණ කරමින් ගල්ඔය ජාතික වනෝද්‍යානය මායිමේ පිහිටි වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන නිල්ගල වනාන්තරයේ අක්‌කර 505ක් එළි පෙහෙළි කර ජනතාව පදිංචි කිරීමේ සැලැසුමක් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී. මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ පිහිටි මේ වනාන්තරය කරාඩුගල ග්‍රාම නිලධාරී වසමේ බෝඇල්ල ප්‍රදේශයේ ව්‍යාප්ත ව තිබේ. මේ වනාන්තරය එළි පෙහෙළි කර මල්දම්අබේ, පිටකුඹුර, බුලූපිටිය, සේරව හා පේරණ යන ගම්මානවල ජීවත් වන පවුල් 400ක් පදිංචි කිරීමට සැලැසුම් කර තිබේ. බෝඇල්ල වැව ප්‍රතිසංස්‌කරණය කර මේ ප්‍රදේශයට ජලය ලබා දීමට නියමිත ව ඇති අතර, වැව ප්‍රතිසංස්‌කරණය කිරීම වර්ල්ඩ් විෂන් ආයතනය මඟින් සිදු කැරේ.
බිබිල - නිල්ගල ප්‍රධාන මාර්ගයේ බෝඇල්ල හන්දියේ සිට ගල්ඔය, මකරය දක්‌වා විහිදී ඇති මාර්ගයේ කිලෝමීටර අටක් පමණ වනාන්තරය තුළ යෝජිත ව්‍යාපෘති භූමිය පිහිටා තිබේ.
ඉඩම් කැබැලි දස ලක්‌ෂයක් ජනතාව අතර බෙදා දීමේ රජයේ වැඩසටහනට සමගාමී ව මේ ඉඩම් බෙදා දීම අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයකු ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කිරීමට නියමිත ය. වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වූ රජයට අයත් මේ වනාන්තර ජනතාව අතර බෙදා දීම සඳහා බිබිල ප්‍රාදේශීය ලේකම් වෙත පැවැරීම ඒ දෙපාර්තමේන්තුව විසින් ම සිදු කරනු ලැබ තිබේ. දැනට ඉඩම් මැනීම් කර කොටස්‌වලට වෙන් කර මායිම් සලකුණු කිරීම ද අවසන් කර තිබේ.
ජනතාව පදිංචි කරන ප්‍රදේශය, ගල්ඔය ජාතික වනෝද්‍යානය සහ නිල්ගල වනාන්තරය හා සම්බන්ධ වනාන්තර පද්ධතියක් ලෙස පිහිටි අලි - ඇතුන් බහුල ව ජීවත් වන මූකලන් ප්‍රදේශයකි. නිල්ගල යෑයි පැවසූ විට බොහෝ දෙනා ගේ මතකයට නැඟෙන්නේ ඖෂධීය වනාන්තර පිළිබඳ ව ය. මේ වනාන්තර පහත් බිම් සවානා ලෙස හඳුන්වනු ලැබේ. මේ වනාන්තර දර්ශය ඌව කලාපයට පමණක් ආවේණික වනාන්තර දර්ශයකි. අරළු (Terminalia chebula), බුළු (Terminalia belerica), නෙල්ලි (Phyllanthus emblica), ගම්මාලු (Pterocorpus marsu) වැනි ශාක තැනින් තැන පිහිටන මේ වනාන්තර තෘණ ශාකවලින් වැසී පවතී. හීන් පැඟිරි, ඇත්තුත්තිරි, මහ පිනි බරු තණ, පිනි බරු තණ වැනි තෘණ ශාක මෙන් ම ඇත්අඩි, විෂ්ණු ක්‍රාන්ති වැනි ශාක ද දැකගත හැකි ය.
මේ වනාන්තරයන්හි ඌව කලාපයට පමණක් ආවේණික ජීවී විශේෂ ගණනාවක් ජීවත් වේ. ලැසර්ටිඩේ (Lacertidae) කුලයට අයත් පඳුරු කටුස්‌සන් ලෙස හඳුන්වන උරග විශේෂ දෙකක් මේ ප්‍රදේශයේ සැවානා තෘණ භූමි ආශ්‍රිත ව වාර්තා වේ. එනම් Ophisops leschenaultii lankae yd Ophisops minor minor ය. මේ උප විශේෂ දෙක ම ලංකාවට ආවේණික වේ. 1968 වසරේ දී නිල්ගල ප්‍රදේශයෙන් කෞතුකාගාර නිලධාරීන් එක් රැස් කළ නිදර්ශකයක් ආශ්‍රයෙන් 1971 වසරේ දී ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා විසින් Ophisops minor minor නම් උප විශේෂය විදු ලොවට හඳුන්වා දෙන ලදි.
මේ ප්‍රදේශයේ පමණක් වාර්තා වන උභයජීවී විශේෂයක් ද වේ. ගල්පර මැඬියකු වන ඒ විශේෂය Nannophrys naeyakei ලෙස හැඳින්වේ. 2007 වසරේ දී මෙන්ඩිස් වික්‍රමසිංහ ඇතුළු පිරිස විසින් මේ විශේෂය විදු ලොවට හඳුන්වා දෙන ලදි.
මේ වනාන්තරවල පමණක් දැකිය හැකි පඳුරු වටුවා (Jungle Bush Quail - Perdicula asiatica ceylonensis, පතන් කුකුළා (Painted Francolin නැත හොත් Painted Partridge - Francolinus pictus watsoni) සහ කහ පා බටගොයා (Yellow - footed Green Pigeon -Treron phoenicopterus phillipsi) නම් ලංකාවට ආවේණික උප විශේෂ තුන 2007 IUCN රතු දත්ත ලේඛනයට අනුව වඳ වීමේ තර්ජනයට දැඩි ලෙස පාත්‍ර වූ (Critically Endangered) විශේෂ වෙයි. මේ පක්‌ෂීන් ගේ එක ම නිවහන රක්‌ෂිත ඌව පතන් බිම් කිහිපයයි. මීට අමතරව ළා කොළ කෑරලා ද (Scally - bellied Woodpecker නැත හොත් Streak - throated Woodpecker - Picus xanthopygaeus) ඌව පතන් බිම් හා ඒ ආශ්‍රිත සීමිත ව්‍යාප්තියක් සහිත දුර්ලභ පක්‌ෂි විශේෂයකි.
නිල්ගල ආශ්‍රිත ඌව පතන් බිම්වල ජීවත් වන Calodactylodes illingworthorum නම් ලංකාවට ආවේණික හූනන් විශේෂය සෙවණ සහිත ගල්පර යට ජීවත් වේ. Calodactylodes ගණය යටතේ විශේෂ දෙකක් වාර්තා වන අතර, අනෙක් විශේෂය ඉන්දියාවෙන් හමු වේ. මෙය ලංකාව හා ඉන්දියාව අතර පැවැති භූගෝලීය සම්බන්ධතාව විස්‌තර කිරීමට වැදගත් වන ජීවී ෆොසිලයන් ය.
Hemidactylus hunae නම් ලංකාවට ආවේණික හූනන් විශේෂය ඌව පතන් බිම් ආශ්‍රිත ව වාර්තා වන සීමිත ව්‍යාප්තියක් සහිත දුර්ලභ විශේෂයකි. මීට අමතර ව Dasia helianus නම් ලංකාවට ආවේණික විශාල වෘක්‌ෂ මත ජීවත් වන හිකනලුන් විශේෂය නිල්ගල වනාන්තර ආශ්‍රිත ව ජීවත් වේ.
මේ ප්‍රදේශයේ පමණක් ජීවත් වන, ලංකාවට ආවේණික කුඩුම්බේරිය ශාකය මත යෑපෙන දළඹු අවස්‌ථාවක් හිමි Barronet (Euthalianais) නම් සමනළ විශේෂය මේ වනාන්තරවල සුවිශේෂත්වය කියාපාන තවත් එක් සාධකයකි. මෙවන් අති විශාල වැදගත්කමකින් යුත් වනාන්තර පද්ධතියක් මධ්‍යයේ ජනතාව පදිංචි කිරීමට සැලැසුම් කිරීම ඉතා ම හානිකර තත්ත්වයකි.
ආරක්‌ෂිත වනාන්තර පද්ධතියක් මධ්‍යයේ හුදෙකලා වූ ප්‍රදේශයක ජනතාව නැවත පදිංචි කිරීමෙන් ඔවුන් සඳහා මූලික යටිතල පහසුකම් ලබා දීමේ හැකියාවක් නොමැති වීමෙන් පදිංචි කරන ජනතාව මූලික පහසුකම් නොමැති ව අවතැන් වීම සිදු වනු ඇත. අලින් බහුල ව ගැවසෙන ප්‍රදේශයක් මධ්‍යයේ ජනතාව පදිංචි කිරීමෙන් ඔවුන් අලි - මිනිස් ගැටුමකට ගොදුරු කිරීමක් මේ ව්‍යාපෘතිය යටතේ සිදු වේ. අලි මිනිස් ගැටුම විසඳීම සඳහා සැලැසුම් සකස් කිරීමට රුපියල් කෝටි ගණනක් වැය කරමින් නැවත නැවතත් අලි - මිනිස් ගැටුම වර්ධනය වන ආකාරයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් පෙනී යන්නේ අප රටේ අලි - මිනිස් ගැටුම පාලනය කිරීම, අඥාන දේශපාලකයන් සිටින තුරු කිසි දිනෙක නොහැකි වන බව ය.
යෝජිත නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියත් සමඟ ම වනාන්තර පද්ධතිය ඛණ්‌ඩනය වීම සිදු වන අතර ඒ හේතුවෙන් ද අලි - මිනිස් ගැටුමක් මේ ප්‍රදේශයේ අලුතින් නිර්මාණය වීම සිදු වනු ඇත. ඌව කලාපයට ආවේණික සුවිශේෂී වනාන්තර පද්ධතියක් මේ ව්‍යාපෘතිය යටතේ එළි පෙහෙළි කිරීමෙන් ඒ ආශ්‍රිත ජෛවවිවිධත්වයට විශාල බලපෑමක් සිදු වීම එකකි. එපමණක් නො ව මේ ව්‍යාපෘතිය යටතේ එළි පෙහෙළි කැරෙන වනාන්තර ප්‍රමාණයට අමතර ව ජනතාව පදිංචි කළ පසු ව, ඒ ආශ්‍රිත රක්‌ෂිත වනාන්තර එළි පෙහෙළි කර ජනාවාස ව්‍යාප්ත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සිදු වනුයේ කුමක් ද? රක්‌ෂිත වනාන්තරවල පැවැත්මට මෙන් ම ඒවායේ ජෛව ප්‍රජාව ගේ පැවැත්මට ද මේ තත්ත්වය ඉතා අහිතකර ලෙස බලපෑම් කිරීමයි.
අප රටේ යහ පාලනයට වැදගත් වන කිසිදු නීතියක් ක්‍රියාත්මක කිරීමට දේශපාලකයන් අවස්‌ථාව ලබා නො දෙන තත්ත්වයක් වර්තමානය වන විට උදා වෙමින් ඇත. ඕනෑ ම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ දේශපාලකයන් ගේ යටි අරමුණක් ඇති ව ය. ඒ අරමුණ ඉටු කර ගැනීම සඳහා අනෙක් සියලු නීති රීති හා ජනතාව ගේ මූලික අයිතිවාසිකම් පවා ඔවුහු උල්ලංඝනය කර දමති.
මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මූලික සැලැසුම් අවධියේ සිට ම ඒ සියල්ල සිදු වී ඇත. යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු ස්‌ථානයක් සොයා ගත යුත්තේ ඒ ප්‍රදේශයේ නිසි ශක්‍යතා ඇගැයීමක් සිදු කිරීමෙනි. එසේ නොමැති ව දේශපාලකයන් ගේ හිතුමනාපයට යම් ස්‌ථානයක් තෝරාගෙන එය සාධාරණීකරණය කිරීමෙන් නො වේ.
මේ ව්‍යාපෘතියේ දී පළමුව වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට අයත් සුවිශේෂී වනාන්තර ප්‍රදේශයක් තෝරාගෙන ඒ ප්‍රදේශය වෙන් කරගෙන නීති රීති පිළිබඳ ව කිසිදු තැකීමකින් තොර ව මේ ව්‍යාපෘතිය සැලැසුම් කර තිබේ. වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ සිටින ඇතැම් නිලධාරීන්, දේශපාලකයකු කියූ සැණින් මේ සුවිශේෂී වනාන්තර පද්ධතිය මේ ව්‍යාපෘතිය සඳහා වෙන් කර දී තිබේ. මෙවන් වටිනා වනාන්තර පද්ධතියක් ඔවුන් යටතේ පාලනය වූයේ කුමන හේතුවක් නිසා ද යන්න පිළිබඳ ව හෝ සිතා බැලීමට දේශපාලන ගැති භාවය නිසා මේ නිලධාරීන්ට නොහැකි වී ඇත.
සංශෝධිත 2009 අංක 56 දරන වන සංරක්‌ෂණ ආඥා පනත යටතේ පාලනය වූ මේ සුවිශේෂී වනාන්තරය දේශපාලකයන් කියූ සැණින් ලබා දුන්න ද, වටිනා වනාන්තර පද්ධතියක් ඔවුන් යටතට පවරා ගැනීමට නම් බොහෝ කාලයක් ගත වේ. ඒ තත්ත්වය නකල්ස් කඳුකරයේ අප හොඳින් අත්දැක ඇත.
නිල්ගල වනාන්තරයේ ජනතාව පදිංචි කිරීමට සැලැසුම් සකස් කර අවසන් වුව ද මේ ව්‍යාපෘතිය පාරිසරික නීති ගණනාවකට යටත් වෙයි. එහෙත් ඒ නීති පිළිබඳ ව කිසදු අවධානයක් යොමු කිරීමට මේ දේශපාලකයන් හා නිලධාරීන් උත්සාහ දරා නැති සේ ය. අනාගත පරපුර වෙනුවෙන් මේ සම්පත් ආරක්‌ෂා කිරීමට රට භාරගත් අය ම තම හිතුමනාපයට මෙවන් දෑ සිදු කිරීම කනස්‌සල්ලට කරුණකි.
මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට
සැරැසෙන්නේ ගල්ඔය ජාතික වනෝද්‍යානය මායිමේ ය. 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක ආඥා පනතේ 9 වැනි වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ නම් පරිසර බලපෑම් ඇගැයීමේ ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිත අනුමැතිය වනජීවී අධ්‍යක්‌ෂ ජනරාල්වරයා ගෙන් ලබාගත යුතු ය. ඒ නෛතික ප්‍රතිපාදනය උල්ලංඝනය කරමින් ගල්ඔය ජාතික වනෝද්‍යානය මායිමේ පිහිටි මේ ඉඩම්වල ජනතාව පදිංචි කිරීමට කිසිදු හැකියාවක් දේශපාලකයන්ට හෝ නිලධාරීන්ට හෝ නැත.
එපමණක් නො ව සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1993 ජූනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව පවුල් 100 වැඩි ප්‍රමාණයක් නැවත පදිංචි කිරීමට ප්‍රථමයෙන් හෝ හෙක්‌ටයාර එකකට වඩා වැඩි වනාන්තර ප්‍රමාණයක් එළි පෙහෙළි කර යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගැයීම් ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. ඒ නෛතික ප්‍රතිපාදනය ද උල්ලංඝනය කරමින් මේ ජනතාව පදිංචි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත ව තිබීම රටේ පවතින නීති රීති තුට්‌ටුවකට මායිම් නො කරන බවට තවත් සාක්‌ෂ්‍යයකි.
මෙවන් නෛතික තත්ත්වයක් පවතිද්දී කිසිදු පාරිසරික අනුමැතියකින් තොර ව ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් සඳහා වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව තමන් සතු සුවිශේෂී වනාන්තර අක්‌කර 505ක් පූජා කිරීමට දෙවරක් සිතා නො බැලීම පිළිබඳ ව අපි පුදුමයට පත් වෙමු. මෙවන් නිලධාරීන් අප රටේ අනෙක් සුවිශේෂී වනාන්තර කෙසේ අනාගත පරපුර වෙනුවෙන් ආරක්‌ෂා කරයි ද යන්න ගැටලුවකි.
අදාළ බලධාරීන් ගෙන් අප ඉල්ලා සිටින්නේ නිල්ගල වනාන්තරයේ ඉතා විශාල වනාන්තර ප්‍රදේශයක් එළි පෙහෙළි කර ජනතාව පදිංචි කිරීමේ හානිකර හා නීති විරෝධී මේ ව්‍යාපෘතිය වහා ම නතර කිරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස ය. එපමණක් නො ව මෙවන් අඥාන තීරණ පටු දේශපාලන වුවමනාවන් මත පදනම් ව ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන අවස්‌ථාවන්හි දී අදාළ බලධරයන් බුද්ධිමත් ව කටයුතු කළ යුතු ව ඇති බව ද අවධාරණය කරමු. එසේ නො වුණ හොත් අප රටට අනන්‍ය මේ සම්පත් කෙටි කලකින් ම පටු දේශපාලන අරමුණු ඉටු කිරීම වෙනුවෙන් වැනසී යනු ඇත.
සජීව චාමිකර
පරිසර සංරක්‌ෂණ භාරය
No comments:
Post a Comment