Thursday, June 7, 2012

vidusara1.jpg (14529 bytes)


රැකවරණය අහිමි කොටියා
ජෛවවිවිධත්වයෙන් පිරිපුන් ශ්‍රී ලංකාවේ සුන්දර වන ගහනය තුළ ජීවත් වන සත්ත්ව කුලයක්‌ වන බළල් කුලයට (Felidae Family) හිමි වන්නේ සුවිශේෂි තැනකි. මාංශ භක්‍ෂක ක්‍ෂීරපායි සත්ත්ව විශේෂයක්‌ වන මොවුන් විශේෂ 4ක්‌ ශ්‍රී ලංකාවේ වනාන්තරවලත් පොදුවේ ගත් කල සැම පරිසර පද්ධතියකමත් දක්‌නට ලැබේ. හඳුන් දිවියා (Fishing Cat), වල් බළලා (Jungle Cat), කොළ දිවියා (Rusty Spotted Cat) සහ ශ්‍රී ලංකා කොටියා (Sri Lanka leopard) යනුවෙන් එම සත්ත්ව විශේෂ 4 හැඳින්වෙයි. මෙයින් ශ්‍රී ලංකා කොටියා Panthera pardus kotiya යන විද්‍යාත්මක නමින් හැ`දින්වෙන ශ්‍රී ලංකාවේ වෙසෙන බිළාල කුලයට හෙවත් බළල් කුලයට අයත් සාමාජිකයන් ගෙන් විශාලතම සාමාජිකයා වෙයි. ශ්‍රී ලංකාව හැරුණු කොට මේ කුලයේ විශාල ම සාමාජිකයන් ලෙස සිංහයන්, ව්‍යාඝ්‍රයන්, හිම කොටියන් මෙන්ම ජගුවරයන් හැ`දින්වේ. මේ වන විට බිළාල කුලයට අයත් ව්‍යාඝ්‍ර උප විශේෂ 6ක්‌, සිංහයන් උප විශේෂ 8ක්‌ සහ කොටියන් උප විශේෂ 4ක්‌ ලොව වෙසෙන බැව් අනාවරණය කරගෙන ඇත. මොවුන් සියල්ල ම පැන්තරා ගණයට (Panthera genus) අයත් වෙයි. ලෝක සංරක්‍ෂණ සංගමය (IUCN) මඟින් කොටි උප විශේෂ 9ක්‌ ලොව පුරා ජීවත් වන බැව් හඳුනාගෙන ඇත. අප්‍රිකානු කොටියා (Panthera pardus pardus), ඉන්දියානු කොටියා (Panthera pardus fusca), ජාවා කොටියා (Panthera pardus melas), අරාබියානු කොටියා (Panthera pardus meimr), ඇමුර් කොටියා (Panthera pardus orientalis), උතුරු චීන කොටියා (Panthera pardus japonemsis), පර්සියානු කොටියා (Panthera pardus sexicolor), ඉන්දු චීන කොටියා (Panthera pardus delaeovri), ශ්‍රී ලංකා කොටියා (Panthera pardus kotiya) යන විශේෂ 9ක්‌ ලෝක සංරක්‍ෂණ සංගමය පෙන්වා දෙන ආකාරයට වඳ වී යැමේ තර්ජනයට ලක්‌ ව ඇත. නැඟෙනහිර හා දකුණු ආසියාව, සයිබීරියාව, අප්‍රිකාවේ උප සහරානු ප්‍රදේශ, ඉන්දියානු උප මහාද්වීප, මැලේසියාව, ඉන්දුචීනය සහ ශ්‍රී ලංකාව වැනි රටවල් රාශියක කොටි ජීවත් වෙති. ලෝකයේ ක්‍ෂීරපායි සතුන් අතර විශාල ම ව්‍යාප්තියක්‌ පෙන්වන මේ සත්ත්ව විශේෂයේ භූ ගෝලීය පැතිරීම පිළිබඳව විමසිSමේ දී පෘථිවියේ හරි අඩකටත් වඩා වැඩි ප්‍රදේශයක විසිරී ඇති බැව් පෙනේ. ඉන්දියාවේ ප්‍රදේශ ගණනාවක කොටින් දක්‌නට ලැබේ. මුහුදු මට්‌ටමේ සිට අඩි 15000ත් 16000ත් දක්‌වා උස බිම් ප්‍රදේශ දක්‌වා වූ අධික ශීතල හිමෙන් වැසුණු ප්‍රදේශවල පවා කොටි ජීවත් වෙති. මොවුන් හිම කොටි (Snow Leopard) යනුවෙන් හැඳින්වෙයි. මෙයින් පැහැදිලි වන කරුණක්‌ නම් කොටියාට දැඩි උණුසුමට මෙන්ම අධික ශීතලට ද ඔරොත්තු දීමේ හැකියාවක්‌ ඇති බව ය. ශ්‍රී ලංකාවේ යාපනය අර්ධද්වීපයේ හැරුණු කොට අනෙක්‌ සැම ප්‍රදේශයක ම කොටියා දක්‌නට ලැබේ. අඩි 7000කට වඩා උසැති හෝටන්තැන්න හා ඒ අවට ඇති කඳුවැටිවල පටන් තෙත් හා වියළි කලාපවල, වෙරළබඩ ප්‍රදේශ දක්‌වා වූ ඝන වනාන්තර මෙන්ම ගම්මාන ආශ්‍රිත වනාන්තරවලත් ජීවත් වෙයි. අතීතයේ ඉහත කී අයුරින් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ජීවත් වූ කොටින් අද යාල, විල්පත්තු, වස්‌ගමුව, ගල්ඔය වැනි ජාතික වනෝද්‍යානවලටත් රක්‍ෂිතවලටත් හා හෝටන්තැන්න, නකලස්‌, සිංහරාජය, ශ්‍රී පාද අඩවිය, ආශ්‍රිත වන බිම්වලටත් සීමා වී ජීවත් වෙයි.

ශ්‍රී ලාංකික උප විශේෂ

බොහෝ දෙනා මේ සත්ත්වයා දිවියා යනුවෙන් වරදවා තේරුම් ගෙන ඇති බවක්‌ දක්‌නට ලැබේ. දහවල දී හැසිරුණත් රාත්‍රියේ ද හැසිරීමට ප්‍රිය කරන කොටියා සැබැවින් ම නිශාචරයෙකි. දහවලට වඩා රාත්‍රියේ දී අති විශාල භූමි ප්‍රදේශයක සැරිසරයි. සැම කොටියකු ගේ ම ශරීරයේ එක හා සමාන පුල්ලි රටාවක්‌ දක්‌නට ලැබුණත්, ඒ ඒ කොටියාට ආවේණික වූ පුල්ලි රටාවක්‌ පිහිටා තිබීම නිසා එකිනෙකා වෙන් ව හඳුනාගැනීමට හැකියාවක්‌ ඇත. ලෝම වැස්‌මක්‌ සහිත වූ සිරුරේ පසුබිම් වර්ණය කහ පැහැයක්‌ ගන්නා අතර රන්වන් දුඹුරු පැහැයක්‌ දක්‌වා වර්ණය වෙනස්‌ වෙයි. මේ රටාව උන් එකිනෙකා වෙන් කර හඳුනා ගැනීමට ආධාර වෙයි. ශ්‍රී ලංකා කොටින් ගේ සිරුර රන්වන් කහ පැහැයක්‌ ගත් ලෝම වැස්‌මකින් යුක්‌ත ය. ගැහැනු, පිරිමි යන සතුන් දෙවර්ගයේ ම ශරීර ලක්‌ෂණ එක හා සමාන ය. ශරීරයේ මැද පෙදෙසේ තිබෙන පුල්ලිවලට වඩා දෙපාවල පුල්ලි කුඩා ය. බඩ පෙදෙස සුදු පැහැයක්‌ ගනී. කළු පැහැති කන් මත ළා කහ පැහැයක්‌ ගත් තිත් විසිරී ඇත. කන්පෙති ඇතුළත කහ, සුදු රෝම කූප ඇත. දෙනෙත් අ`දුරු පැහැයක්‌ ගනී. දිගු වලිගයේ මුල සිට අග දක්‌වා කළු, සුදු වයිරම් දක්‌නට ලැබේ.

හොම්බේ දෙපස දිගු ස්‌පර්ශක පිහිටා තිබීමත්, පහසුවෙන් ගොදුරක්‌ අල්ලා ඉරා ගැනීමට තරම් තියුණු මුවහතක්‌ ඇති, දිගු තියුණු නියපොතු තිබීමත්, ගොදුරක්‌ වෙත හඬක්‌ නො නැෙ`ගන පරිදි නිසලව ඇවිදීමට හැකි පරිදි කොට්‌ටා සහිත ශක්‌තිමත් පේශීන් ගෙන් සෑදුණු පාද පිහිටා තිබීමත්, සුවිශේෂී ලක්‌ෂණ ය. මේ පාද සැකැස්‌ම ඌට රහසිතගතව සැරිසැරීමට ආධාරකයක්‌ වී ඇත.

ගොදුරු සෙවීම

කොටි බොහෝ විට හුදෙකලාව හෝ ජෝඩු වශයෙන් හෝ ජීවත් වෙති. රාත්‍රියේ හෝ උදෑසන කාලයේ ගොදුරු සොයා යැම සාමාන්‍ය සිරිතක්‌ වුවත් දවසේ ඕනෑ ම වෙලාවක සතකු ගොදුරක්‌ කර ගැනීමට පසුබට නො වේ. ඉතා තියුණු දෘෂ්ටියක්‌ මෙන්ම ගඳ සුවඳ දැනීමේ හැකියාවක්‌ ඇති කොටියා ගෙරවීම සතුන් දඩයම් කිරීමට උපයෝගී කර ගනී. කොටියා ගේ මේ ගෙරවීම අසා කලබල වන මුවකු හෝ වඳුරකු හෝ න`ගන ශබ්දය නිවැරැදිව හඳුනාගෙන උන් සිටින ස්‌ථානය සොයා යැමට මනා හැකියාවක්‌ ඇත. වඳුරකු දඩයම් කිරීමට අවශ්‍ය නම් උන් සිටින ගස මුලට ගොස්‌ ගෙරවීම හෝ ගස පහුරු ගෑම සිදු කරන අතර ගසට නැඟීමට ද උත්සාහ කරයි. මෙයින් කලබලයට පත් වන වඳුරන් ගසේ අතු අතර දිවීමේ දී එකකු හා දෙන්නකු බිමට වැටෙයි. බිමට වැටෙන වඳුරා ඉතා ම පහසුවෙන් ගොදුරු කර ගැනීමට කොටියාට හැකි වෙයි.

ගසක දෙබලක ලැග සිට මුවකු වැනි ගොදුරක්‌ වෙතට පැනීමට ද හැකියාවක්‌ ඇති කොටියාට ගොදුරු නො වන්නේ අලි ඇතුන් හා හොඳින් වැඩුණු කුළු මීමකු වැනි සතුන් පමණි. ඒ අතර සිටින සැම ක්‍ෂීරපායි සත්ත්වයකු ම මෙන්ම පක්‍ෂීන් ද කොටින් ගේ ආහාරය වේ. රාත්‍රී කාලයේ දී ගව පට්‌ටිවලට පැන පැටවුන් ඩැහැ ගැනීමටත්, බල්ලන් ඩැහැගෙන යැමටත් දක්‌ෂ වේ. වල් ඌරන් සම`ග කරන සටන්වල දී ඌරු දළෙන් පහර කන කොටියා පසුබසින අවස්‌ථා ද ඇත.

තර්ජන...

අතීතයේ දී මෙන්ම වර්තමානයේ දීත් කොටින්ට විවිධ තර්ජන ඇති වෙයි. අධිරාජ්‍යවාදීන් මෙරට පාලනය කළ සමයේ සිට අදින් දශක 5ක්‌ පමණ මෑත කාලයක්‌ දක්‌වා මෙරට අලි ඇතුන් හා අනෙකුත් වන සතුන්ට ඇති වූ ජීවිත තර්ජන හා සමාන වූ ජීවිත තර්ජන කොටින්ට ද ඇති විය. එහෙත් අදට වඩා සරු වන ගහනයක්‌ එදා තිබුණු බැවින් ස්‌වාභාවික පරිසරයෙන් උන්ට ජීවිත ආරක්‍ෂාව සැලසිණි. අද එසේ නැත. වන සතුන්ට ජීවත් වීමට තිබෙන වනාන්තර මිනිසා විසින් පැහැරගනු ලැබ ඇත. වනාන්තර තුළින් පමණක්‌ ම යෑපෙන කොටියා වැනි සතුන් දඩයක්‌කරුවන් ගේ ඉලක්‌කයට ද ගොදුරු වන බැවින් ඌ ව`ද වී යන සත්ත්වයකු බවට පත් ව ඇත. මෙරට සංචාරක ව්‍යාපාරය දියුණු කිරිමේ අරමුණින් වන බිම් ආශ්‍රිතව, සංචාරක හෝටල් හා නවාතැන් ඉදි කිරීමේ ප්‍රවණතාවක්‌ දක්‌නට ලැබේ. එම හෝටල්වල රස මසවුලු ස`දහා ගෝන, මුව, වල්ඌරු වැනි සතුන් ගේ මස්‌වලට මෙන්ම කොටි මස්‌වලට ද ලැබෙන්නේ මුල් තැනකි. එබැවින් වෙඩි උණ්‌ඩයට මෙන්ම උගුල්වලට හසු වී මිය යන කොටින් ගේ සංඛ්‍යාවේ වැඩි වීමක්‌ මෑතක සිට දක්‌නට ලැබේ. මෙයට කදිම නිදසුක්‌ 2012 පෙබරවාරි 01 දින මේ පුවත්පතෙන් අනාවරණය කෙරිණි. එම පුවතට අනුව ශ්‍රීපාද අඩවිය, බගවන්තලාව මා එළිය යන ප්‍රදේශවල සැරිසැරූ කොටියකු මරා මස්‌ කර සමත් සම`ග විකිණීමට සකස්‌ කර තිබිය දී දඩයක්‌කරු සම`ග මස්‌ අත්අඩංගුවට ගැනිමට බගවන්තලාව පොලිස්‌ නිලධාරින්ට හැකි විය. දිගින් අඩි 6ක්‌ පමණ ඇතැයි සැලකෙන මේ කොටියා ගේ ඒ වන විටත් මස්‌ කිලෝ ග්‍රෑම් 1ක්‌ රුපියල් 350 බැගින් කිලෝ ග්‍රෑම් 40ක්‌ පමණ විකුණා ඇති බව එම දඩයක්‌කරුවන් ගෙන් අනාවරණය කර ගැනීමට පොලිස්‌ නිලධාරීන්ට හැකි වී ඇත.

හොරොව්පතාන, දියතිත්තවැව, පරංගියාවාඩිය යන වනගත ගම්මානවල සැරිසරන දඩයක්‌කරුවෝ හේන් ගොවියන් ගේ මුවාවෙන් වල් ඌරන්ට අටවන උගුල්වලට වස දමා කොටි හසු කර මරා දැමීම සිදු කරති. මෙහි දී ගව මස්‌ සුවඳට එන කොටියා වස දැමූ මස්‌ කා මිය යන බව ප්‍රදේශවැසියන් ගෙන් දැනගන්නට ලැබේ.

අදින් වසර 2කට පමණ පෙර සිංහරාජ වන අඩවියේ සිටි දුර්ලභ කළු කොටියා මිය ගියේ ද, ඌරන්ට ඇටවූ උගුලකට හසු වීමෙනි. ශ්‍රී ලංකා කොටියා යනු ශ්‍රී ලංකාවේ වඳ වී යැමේ තර්ජනයට ලක්‌ වූ සත්ත්වයෙකි. පසුගිය මාස 6 තුළ උගුල්වලට හසු වී මිය ගිය කොටින් ගේ සංඛ්‍යාව 10කි. වසර 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා තුරුලතා ආඥා පනතට අනුව කොටියා ආරක්‍ෂිත සත්ත්වයෙකි. මේ පනතේ 30 වැනි වගන්තිය අනුව කොටියකු මරණයට පත් කිරීමට තැත් කිරීම, ඒ සඳහා උගුල් ඇටවීම, මැරූ සතා ගේ ශරීර කොටස්‌ ළඟ තබා ගැනීමත් දඬුවම් ලැබිය හැකි වරදකි. මෙසේ වරදකරුවකු වන අයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් රුපියල් 30000 සිට 1,00,000 දක්‌වා වූ දඩයකට යටත් කිරීම හෝ වසර 2කට නො අඩු වසර 6කට නො වැඩි සිර දඬුවමක්‌ නියම කිරීම සහ මේ දඬුවම් දෙක ම හෝ නියම කළ හැකි ය.

කොටියා මදු ගසා අල්ලා ගැනීම පිළිබඳව රුක්‌ෂාන් ජයවර්ධන මහතා පැවසූයේ මෙවන් අදහසකි. මදු ගසා කොටින් ඇල්ලීම ශ්‍රී ලංකාවේ වනගත ප්‍රදේශවල සිදු වන සාමාන්‍ය දෙයක්‌. මෙහි දී සිදු වන්නේ ඌරන්ට ඇටවූ මදුවල කොටියා හසු වීමෙන් මිය යැමයි. දඩයක්‌කරුවන් මදු ගසන්න යොදා ගන්නේ මෝටර් සයිකල්වල බ්‍රේක්‌ කේබල් එක. කේබල් එකේ එක කෙළවරක්‌ මද්දට භාවිත කරලා අනෙක්‌ කෙළවර ම`දක්‌ සිහින් නැවෙනසුලු ගසක ගැට ගසනවා. කොටියා මේ මද්දට හසු වුණොත් ඌ වේගයෙන් අදින්න පටන් ගන්නවා. එවිට ගස නැවී ඇදෙනවා මිස කැඩෙන්නේ නෑ. ගසේ බැන්ද කේබල් එක කැඩෙන්නෙත් නෑ. ඒත් කොටියාව මද්දේ හිර වෙනවා. බෙල්ල, බඩ වගේ ප්‍රදේශයක්‌ මද්දට හසු වුණොත් මාරාන්තික තුවාල ලබා මිය යනවා. කකුලක්‌ වැනි අවයවයක්‌ මද්දට හසු වුණොත් වඩාත් හොඳින් මද්දට කකුල හිර වී තිබෙන්නත් පුළුවන්. අදින පාරට කේබල් එකට කකුල කැපිලා යන්නත් පුළුවන්.

අතීතයේ ශ්‍රී ලංකාවේ කොටි 600ත් 800ත් අතර ප්‍රමාණයක්‌ සිටින බවට වාර්තා වුණා. මම හිතන්නේ ඊට වඩා වැඩි ප්‍රමාණයක්‌ හිටියා කියලයි. මේ සැම දෙයක්‌ ම අනුමාන සංඛ්‍යා. යාල වැනි වනගත ප්‍රදේශයක අපි දන්නා සීමාවක ඉන්න කොටි සංඛ්‍යාව ගණනය කරලා ශ්‍රී ලංකාවේ තිබෙන රක්‌ෂිත ප්‍රදේශවලට අනුව අනුමාන සංඛ්‍යාවක්‌ වාර්තා කිරීමෙන් තමයි කොටි ගහණය ගණන් ගන්නේ. එසේ නැති ව එය සත්‍ය සංඛ්‍යාවක්‌ නො වෙයි.

මුල්ගල විශේෂය

අග්‍රස්‌ථ මුල් පෙළේ විලෝපීයයකු මෙන්ම මුල්ගල් විශේෂයක්‌ (Keystone species) වන කොටියා ශ්‍රී ලංකාවට වැදගත් වන සත්ත්වයෙකි. මාංශ භක්‍ෂකයකු වන බැවින් ශාක භක්‍ෂකයන් පාලනය කොටියා විසින් සිදු කරනු ලබයි. එහෙයින් උලා කෑමෙන් වන පරිසර පද්ධති හීන වීම ද, වළක්‌වයි. නිදසුනක්‌ ලෙස කොටියා පරිසර පද්ධතියක ආරුක්‌කුවක්‌ ලෙසට ද හැඳින්විය හැකි ය. ආරුක්‌කුවක සැම ගඩොලක්‌ ම එකිනෙකට බැඳී පවතියි. එනම් සැම ගඩොලක්‌ ම එකිනෙකට ආධාරකයක්‌ ලෙස ක්‍රියා කරයි. එහෙයින් මෙහි මුල්ගල ඉවත් කළොත් සියලු ම ගල් බිඳ වැටී ආරුක්‌කුව විනාශ වෙයි. ඒ අයුරින් ම කොටියා පරිසර පද්ධතියෙන් ඉවත් වුවොත් මුළු පරිසර පද්ධතිය ම බිඳ වැටෙයි. එබැවින් උන් මුල්ගල් විශේෂයක්‌ ලෙසට ද හැඳින්වෙයි.

මාංශ භක්‍ෂකයකු වුවත් කොටියා අවස්‌ථාවාදී විලෝපීයයෙකි. දඩයම් කළ සතුන් එසැනින් ආහාරයට ගන්නා මොවුන් මළ කුණු ද, ආහාරයට ගනී. එහෙයින් සීමාසහිත තත්ත්ව යටතේ ජීවත් වීමේ හැකියාවක්‌ තිබුණ ද, පරිසර සමබරතාව රැක ගැනීමට ඉතා ම වැදගත් සත්ත්වයෙකි. පියකරු සතකු වුවත් රුදුරු ගති පැවතුම් ඇති කොටියා නිතර දැකීමට නො හැකි දුලබ සතකු වීම දෙස්‌ විදෙස්‌ සංචාරකයන් අවධානයට යොමු වී ඇති ශ්‍රී ලංකාව වැනි රටක සංචාරක ව්‍යාපාරය නැංවීමට මනා රුකුලක්‌ ගෙන දෙයි.

විශාලත්වය

හොඳින් වැඩුණු කොටියකු ගේ හිසේ සිට ශරීරයේ කෙළවර දක්‌වා දිග සෙ.මී. 95ත් 165ත් අතර ප්‍රමාණයක්‌ වෙයි. වලිගය පමණක්‌ සෙ.මී. 60ත් 110ත් අතර වෙයි. ඉදිරි පාදවල උරහිස දක්‌වා උස හෙවත් කොටියා ගේ උස සෙ.මී. 45ත් 80ත් අතර වෙයි. පිරිමි සතෙක්‌ ගැහැනු සතාට වඩා ප්‍රමාණයෙන් විශාල ය. ප්‍රතිශතයක්‌ වශයෙන් ගත් කල සියයට 30ක්‌ පමණ විශාල වෙයි. පිරිමි සතෙක්‌ බරින් කිලෝ ග්‍රෑම් 30ත් 90ත් අතර ය. කිලෝ ග්‍රෑම් 91ක උපරිම බරක්‌ ඇති කොටියකු සිටි බැව් අප්‍රිකාවේ ක්‌රූගර් ජාතික වනෝද්‍යානයෙන් වාර්තා වී ඇත. සාමාන්‍යයෙන් පිරිමි සතකු ගේ අඩවියක්‌ හෙවත් වසමක්‌ වර්ග කිලෝ මිටර් 30ත් වර්ග කිලෝමීටර් 78ත් අතර ප්‍රමාණයක්‌ වෙයි. ගැහැනු සතකු ගේ අඩවියක්‌ වර්ග කිලෝමීටර් 15ත් 16ත් අතර ප්‍රමාණයක්‌ වේ. මේ විශාලත්වය වනාන්තරයේ තිබෙන සම්පත් ප්‍රමාණය මත රඳා පවතී. එනම් සම්පත් බහුල ප්‍රදේශයක අඩවිය කුඩා වන අතර සම්පත් අඩු ප්‍රදේශයක අඩවිය විශාල වෙයි. කොටියෙක්‌ වනාත්තරය තුළ සැරිසැරීමේ දී සිය අඩවිය හෙවත් වසම සලකුණු කර ගැනීමට අමතක නො කරයි. ලෝක තත්ත්වය විමසීමේ දී නේපාල පිරිමි කොටියකු ගේ වසම වර්ග කිලෝ මීටර් 48ක්‌ පමණ විශාල වෙයි. ගැහැනු සතකු ගේ වසමක විශාලත්වය වර්ග කිලෝ මිටර් 17ක්‌ පමණ වෙයි. පැටවුන් සිටින අවධියෙක දී නම් ගැහැනු සතකු ගේ වසමක්‌ වර්ග කිලෝ 5ත් 6ත් අතර විශාලත්වයකට සීමා වෙයි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා කොටියකු ගේ වසම වර්ග කිලෝ මීටර් 4ත් 10ත් අතර ප්‍රමාණයක්‌ වෙයි. මුත්‍රා කිරීමෙන් හෝ බෙටි දැමීමෙන් හෝ සිය අඩිවිය වෙන් කර ගනී.

විසිවැනි සියවසේ මුල් හා මැද කාල සීමාවල දී ශ්‍රී ලංකාවේ කොටි ගැහැනු සතුන් 7 දෙනකු සම්බන්ධයෙන් කරන ලද සමීක්‍ෂණයකට අනුව සාමාන්‍ය බර කිලෝ ග්‍රෑම් 29ක්‌ වූ අතර හිස පෙදෙසේ සිට ශරීරය කෙළවර දක්‌වා දිග අඩි 3 අඟල් 5ක්‌ විය. එසේ ම වල්ගය අඩි 2 අඟල් 6.5ක්‌ වූ බැව් අනාවරණය විය. විශාල ම ගැහැනු සතා ගේ හිස පෙදෙසේ සිට සිරුර කෙළවර දක්‌වා දිග අඩි 3 අඟල් 9ක්‌ වූ අතර වල්ගය අඩි 2 අඟල් 9ක්‌ විය. කොටි පිරිමි සතුන් 11 දෙනකු යොදා කළ සමීක්‍ෂණයක දී සාමාන්‍ය බර කිලෝ ග්‍රෑම් 56ක්‌ වූ අතර විශාල ම කොටියා ගේ බර කිලෝ ග්රෑම් 77ක්‌ විය. හිසේ සිට සිරුරේ කෙළවර දක්‌වා දිග අඩි 4 අඟල් 2ක්‌ ද, වලිගයේ දිග අඩි අඟල් 10ක්‌ ද විය. ((Peacock R.I (1939) The Funa of BritishIndia Including Ceylon and Burma MammaliaVol. 01)

වන සතුන් පිළිබඳව අධ්‍යයනය කරන ශ්‍රී ලාංකිකයන් අතළොස්‌සක්‌ වැනි ප්‍රමාණයක පුද්ගලයන් අතුරින් මුල් පෙළේ ශ්‍රී ලාංකිකයකු වන රුක්‌ෂන් ජයවර්ධන යනු ශ්‍රී ලංකාවේ කොටියා පිළිබඳ නිවැරැදි අධ්‍යයනයක යෙදී උන් සංරක්‍ෂණය කිරීමේ මහා ප්‍රයත්නයක යෙදෙන සත්ත්ව සංරක්‍ෂකයෙකි. ඔහු සිය අත්දැකීම් තුළින් ශ්‍රී ලංකා කොටියා පිළිබඳව අදහස්‌ දක්‌වන්නේ මේ අයුරිනි.

මේ සත්ත්වයා දිවියා කියලා හැඳින්වීම වැරදියි. විද්‍යාත්මක නාමය පැන්තරා පාඩුස්‌ කොටියා. ශ්‍රී ලංකාවේ ඉන්න කොටියා ඉන්දියාවෙන් වෙන් වුණු උප විශේෂයක්‌. ඉන්දියාවේ සිටින විශාල ම බිළාලයා ව්‍යාඝ්‍රයා. අතීතයේ දීත් අදත් ශ්‍රී ලංකාවේ මුහුදු මට්‌ටමේ සිට ඉතා උස්‌ කඳු ප්‍රදේශ දක්‌වා සැම උස මට්‌ටමක ම කොටි ජීවත් වෙනවා. මේ සතාට අහිතකර දේශගුණයක්‌, කාලගුණයක්‌, දුෂ්කර පෙදෙසක්‌ නැති තරම්. අධික ශීතල මධ්‍ය කඳුකරයේ හෝර්ටන් තැන්න, නුවරඑළිය, නකල්ස්‌ කඳුවැටිය, සිංහරාජය වැනි වනාන්තර පරිසර පද්ධතිවලත් යාල, විල්පත්තුව වැනි වියළි කලාපයේ වනාන්තර පද්ධතිවලත් කොටියා ජීවත් වෙනවා. ඉන්දියාවේ හිමාල කඳු වැටියේ ඉහළ සීමාවේ කොටියාට ජීවත් වීමේ අපහසුතාවක්‌ තිබෙන බැව් පෙන්නුම් කරනවා. ඒ එක්‌තරා සීමාවක්‌ දක්‌වා පමණයි. නමුත් සයිබීරියාවේ අඩි 12000කට වඩා උස්‌ ප්‍රදේශවල හිම කොටියා ජීවත් වෙනවා. එහෙම නම් හිමාලේ උස්‌ ම ප්‍රදේශවල කොටියාට ජීවත් වීමට අපහසු වී තිබෙන්නේ සීතල නිසා නො වෙයි. ආශ්වාස කිරීමට ප්‍රමාණවත් වාතය නොමැති වීම නිසයි. මෙයින් පැහැදිලි ව ම පෙනී යන දෙයක්‌ තමයි ඉන්දියානු කොටියත් සයිබීරියානු කොටියත් අතර මායිමක්‌ තිබෙනවා කියලා. ඒත් පරාසයක්‌ නෑ. ඉන්දියානු කොටියා අවසන් කරන තැනින් සයිබීරියානු කොටි ආරම්භ කරනවා. හිම කොටියා මුහුදු මට්‌ටමේ සිට අඩි 16000ක්‌ වැනි උසක්‌ දක්‌වා ජීවත් වෙනවා.

වසමක්‌ වෙන් කිරීම

අපි ශ්‍රී ලංකාවේ කොටියා ගැන කථා කරමු. කොටියකු ගේ ගැහැනු සතෙක්‌ වගේම පිරිමි සතෙක්‌ වනාන්තරයේ ජීවත් වෙන්නේ උන්ට ම වෙන් වුණු අඩවියක්‌ හෙවත් වසමක්‌ වෙන් කරගෙනයි. උන් ආහාරයට ගන්නේ උන් තෝරාගත් අඩවිවල සිටින සතුන් පමණයි. ජලය පානය කරන්නේ උන් ගේ අඩවියේ තිබෙන ජලාශවල පමණයි. තමන් ගේ අඩවියට පිටස්‌තර කොටියෙක්‌ පැමිණියොත් හෝ පැමිණීමට උත්සාහ කළොත් එතැන ගැටුමක්‌ ඇති වෙනවා. මේ ගැටුම බොහෝ විට දුරදිග නො යා විසඳා ගන්නයි බලන්නේ. මෙහි දී නැවත මායිම් ලකුණු කිරීමක්‌ සිදු කෙරෙන අවස්‌ථා තිබෙනවා. සමහර අවස්‌ථාවල දී ඈතින් සිට ගෙරවීම් වැනි ශබ්ද නිකුත් කරනවා. ඉරියව්වලින් හැසිරීම්වලින් විරෝධය පානවා. මේ සැම තහන්චියක්‌ ම ගණන් නො ගෙන අඩවිය ආක්‍රමණය කළොත් පමණක්‌ එතැන ගැටුමක්‌ ඇති වෙනවා. මේ ගැටුමෙන් අඩවිය අයිති කොටියාට පිටස්‌තර කොටියා පැරදී අනිවාර්යයෙන් ම මිය යනවා. සාමාන්‍යයෙන් පිරිමි සතකු ගේ අඩවිය ගැහැනු සතකු ගේ අඩවියකට වඩා විශාලයි. ඒ වගේම ගැහැනු සතුන් දෙතුන් දෙනකු ගේ අඩවි හරහා පිරිමි සතකු ගේ අඩවියක්‌ වෙන් වී තිබෙනවා. ගැහැනු සතුන් දෙදෙනකු ගේ අඩවි දෙකක්‌ අතර හිස්‌ තැනක්‌ නැහැ. සමහර විට අසල්වැසි මහලු පිරිමි සතෙකකුත් තරුණ පිරිමි සතෙකුත් අඩවියක්‌ සම`ග මායිමක්‌ හදාගෙන ජීවත් වෙන්න පුළුවන්. තරුණ කොටි මෙවැනි අඩවිවලට එන අවස්‌ථා තිබෙනවා. එවන් අවස්‌ථාවල දී විරුද්ධවාදියා ගේ දුර්වලකම තේරුම් ගත් විට මායිම් ලකුණු කිරීමට මුත්‍රා කිරීමක්‌ හෝ බෙටි දැමීමක්‌ කරනවා. මේ බේටි හෝ මුත්‍රා ඉව කිරීමෙන් බෙටි හා මුත්‍රා කළ සතා ගේ ස්‌වභාවය පිටස්‌තරයාට තේරුම් ගන්න හැකියාව තිබෙනවා. මේ ඉතා සියුම් හැකියාවෙන් අදාළ සතා මහලු සතෙක්‌ ද, තරුණ සතෙක්‌ ද, පිරිමි සතෙක්‌ ද, ගැහැනු සතෙක්‌ ද, ලිංගික වශයෙන් පරිණත වෙලා ද, ප්‍රජනන කාලය ළං වෙලා ද යන්න තේරුම් ගන්න හැකියාව තිබෙනවා.

ලිංගික පරිණතිය

ගැහැනු සතෙක්‌ ඉපදී වසර දෙකක්‌ දෙකහමාරක්‌ වැනි කාලයක්‌ යන විට ලිංගික වශයෙන් පරිණත වෙනවා. මෙයින් පසු උන් ගේ ජීවිතයේ අවසන් වසර 2 දක්‌වා කාලය තුළ පැටවුන් බිහි කරනවා. සාමාන්‍යයෙන් වසර දෙකකට වරක්‌ පැටවුන් දෙදෙනෙක්‌ හෝ තුන් දෙනෙක්‌ පමණ බිහි කරනවා. ලිංගික වශයෙන් එක්‌ වීමට නියමිත කාලයක්‌ නැහැ. වසරේ ඕනෑ ම කාලයක එක්‌ වී පැටවුන් බිහි කරන්න හැකියාව තිබෙනවා. මගේ අත්දැකීම්වලින් දන්නා දෙයක්‌ තමයි ශ්‍රී ලංකාවේ වියළි කාලයේ වියළි ම මාස දෙකේ හා තෙත් කාලයේ තෙත් මාස දෙකේ උන් ගේ එකතු වීමේ වැඩි වීමක්‌ පෙන්නුම් කරන බව. වියළි කාලයේ ජුලි- අගෝස්‌තු යන මාසවල නැත්නම් ජුලි- සැප්තැම්බර් යන කාල සීමාවලත් නැවත දෙසැම්බර් සිට ජනවාරි මුල් සති දෙක කාල සීමාවේ වැඩි ම එක්‌වීම් දක්‌නට ලැබෙනවා. හේතුව කුමක්‌ ද කියල හරිහැටි සොයාගෙන නෑ. කොටියෙක්‌ උපරිමව අවුරුදු 12ක්‌ පමණ ජීවත් වෙනවා. මගේ අත්දැකීම්වලින් යාල ජාතික වනෝද්‍යානයේ අවුරුදු 16ක්‌ වයස ගැහැනු සතෙක්‌ සිටි බැව් පෙන්වා දෙන්න පුළුවන්. කුඩා කාලයේ සිට අවධානයෙන් අධ්‍යයනය කළොත් තමයි උන් ගේ වයස නිවැරැදිව සොයාගන්න පුළුවන් වෙන්නේ.

අභියෝගය

කොටියකුට වයස්‌ගත වන විට ආහාර සොයා ගැනීම ස`දහා අභියෝග රැසකට මුහුණ දෙන්න සිදු වෙනවා. මහලු වෙන කොට උන් ගේ ජවය ක්‍රමයෙන් අඩු වෙනවා. ඒ නිසා දිවීමේ දී දුර්වලතා පෙන්නුම් කරනවා. අමාරුවෙන් හෝ සතෙක්‌ අල්ලා ගත්තොත් මැරීම එතරම් අපහසු නැහැ. මොකද කොටියා සතෙක්‌ මරන්න ඉතාමත් නිවැරැදි තාක්‍ෂණයක්‌ අනුගමනය කරන නිසා. වේගයෙන් දිවීම අපහසු නිසා මුවන්, ගෝනුන් වැනි සතුන් අල්ලා ගන්න අපහසු වුණත් හාවන්, මොණරුන් වැනි සතුන් පහසුවෙන් අල්ලා ගන්න පුළුවන්. කුඩා සතුන් ආහාරයට ගන්නවා කියන්නේ ප්‍රමාණවත් ආහාර වේලක්‌ ලැබෙන්නේ නෑ කියන එකයි. ඒ නිසා දවසට දෙතුන් වතාවක්‌ හෝ ඊට වැඩි වාර ප්‍රමාණයක්‌ දඩයම් කරන්න සිදු වෙනවා. මහලු සතකුට ඒක බොහොම වෙහෙසකරයි. කොටියා ගේ තිබෙන විශේෂ ලක්‍ෂණය තමයි ගොදුර සම්පූර්ණයෙන් ආහාරයට ගැනීම. නමුත් වල් ඌරන් රංචුවක්‌ ගොදුර වෙතට ආවොත් කොටිය ගෙන් ගොදුර පැහැර ගැනීමට උත්සාහ කරනවා. එවන් අවස්‌ථාවක දී කොටියා පසුබහිනවා. තනි ඌරෙක්‌ ආවොත් ඌරා පරදිනවා. මුවෙක්‌, ගෝනෙක්‌ වගේ විශාල සතෙක්‌ මරා බඩ පෙදෙසේ ඇතුළත ඉන්ද්‍රියයන් සියල්ල ආහාරයට ගන්නවා. එතකොට ගොදුරේ මු`ඵ බරින් සියට 30ක්‌ විතර අඩු වෙනවා. ඉන්පසුව කරන්නේ මළකුණ ගසක්‌ උඩට ගෙන යැමයි. කොටියා දක්‍ෂ ගස්‌ නඟින්නෙක්‌. මුවෙක්‌ වැනි සතෙකු අරගෙන ගස්‌ නැ`ගීම එතරම් අපහසු කාර්යයක්‌ නො වෙයි. විශාල තර්ජනයක්‌ එන්නේ කිඹුලන් ගෙන්. රාත්‍රියට ජලාශවලින් කිඹුල්ලු ගොඩට එනවා. ඉතා ම තියුණු ඉවක්‌ තිබෙන නිසා කිඹුලාට කිලෝමීටරයක්‌ වැනි දුරක සිට වුවත් සත්ත්ව මළකුණේ ඉව අල්ලාගෙන තිබෙන තැනට එන්න පුළුවන්. සුළං හමන දිශාව හඳුනාගෙන ඉලක්‌ක කර මළකුණට ළඟා වෙනවා. විශාල කිඹුලෙක්‌ නම් කොටියාව බය කර ගොදුර ඩැහැගන්න උත්සාහ කරනවා. මෙහි දී කිඹුලාත් කොටියාත් අතර කඹ ඇඳිල්ලක්‌ වැනි සටනක්‌ ඇති වෙනවා. කොහොම හරි කොටියා ගෙන් ගොදුර ඩැහැගත්තොත් කිඹුලා කරන්නේ ගොදුර ජලාශයට ඇදගෙන යැමයිs. නරියා වැනි සතුන් ගෙන් කොටියට තර්ජනයන් නැති නිසා කොටියා නැති අතරේ මළකුණ කන්න උත්සාහ කරනවා. කපුටන් මේ අතරට එකතු වුණත් උන් ගෙන් තර්ජනයක්‌ ඇති වෙන්නේ නෑ. මෙහි දී කිව යුතු දෙයක්‌ තමයි කොටියා අනෙක්‌ සතුන් සමග ආහාර බෙදාගෙන කන සතෙක්‌ නො වෙයි. ඌ උත්සාහ කරන්නේ ගොදුර තනිය ම භුක්‌ති විඳින්න. ඒ නිසයි මැරුණු සතා ගසක්‌ උඩට ගෙනියන්න උත්සාහ කරන්නේ. වරක්‌ දඩයම් කර නැවත දඩයම් කිරීමට කාල සීමාවක්‌ නැතත් එක දඩයමක්‌ කර එය ආහාරයට ගෙන සමහර විට දින දෙකකට පමණ පසුව නැවත දඩයමක්‌ කරන්න පුළුවන්. ප්‍රමාණයෙන් විශාල ගොදුරක්‌ දඩයම් කර සම්පූර්ණ ආහාරයට ගත්තොත් දින දෙකකට පසුව නැවතත් දඩයමක්‌ කරන්න පුළුවන්. පැටවුන් ඉන්න කොටි දෙනක නම් දවසක්‌ ඇර දවසක්‌ දඩයම් කරනවා. මොකද, වැඩි ආහාර ප්‍රමාණයක්‌ අවශ්‍ය නිසාත් පැටවුන් රැක ගැනීමට කාලය අවශ්‍ය නිසාත්.

දඩයම් පුහුණුව

ඉපදී වසර 2ක්‌ පමණ යන තෙක්‌ කොටි පැටවුන් මවත් සමග දැඩි සබඳතාවක්‌ දක්‌වයි. ඉපදී මුල් මාස තුනේ දී මව ගෙන් කිරි බී වැඩෙන කුඩා පැටවුන් ඉන්පසු ක්‍රමයෙන් දඩයමටත් මස්‌ කෑමටත් හුරු කරනු ලබයි. මව කරන දඩයම් බලා සිට පැටවුන්ට දඩයම් පුහුණු වීමට කාලයක්‌ ලැබෙන්නේ නැත. හේතුව පැටවුන් කුඩා කල කලබලකාරී ස්‌වභාවයක්‌ ගන්නා නිසා මව කරන්නේ උන් ගල් ලෙන තුළ හෝ වෙනත් තැනක රඳවා දඩයමට යැම බැවිනි. පැටවුන් ක්‍රමයෙන් වැඩෙන විට බාගයට මරන ලද හාවන්, මුව පැටවුන් වැනි සතුන් පැටවුන් අසලට ගෙනැවිත් දැමීම මව ගේ සිරිතයි. මෙවන් අවස්‌ථාවක මව පසෙකට වී බලා සිටින අතර පැටවු බාගයට මැරුණු ගොදුර දඩයම් කර අහාරයට ගනිති. එහෙත් ක්‍රමයෙන් වැඩෙන පැටවුන්ට මව දඩයම් පුහුණු කරන ආකාරය දුටු රුක්‌ෂන් ජයවර්ධන මහතා ඒ බැව් විස්‌තර කළේ මෙලෙසිනි.

මේ සිද්ධිය වුණේ යාල වනෝද්‍යානයේ. මම දුටු ඉතා ම ලස්‌සන දර්ශනයක්‌. කොටි මවක්‌ පැටවුන්ට දඩයම් පුහුණු කරන අවස්‌ථාවක්‌. වනෝද්‍යාන එළිමහනේ තිබුණ තනි ගසක වඳුරෝ රැළක්‌ හිටියා. කොටි මව පැටවුන් සමග ගහට නැග්ගා. තනි ගසක්‌ නිසා වඳුරන්ට වෙනත් ගසකට මාරු වෙන්න හැකි වුණේ නෑ. වඳුරෝ කලබල වෙලා දුවන්න පටන් ගත්තා. කොටි පැටවුන් උන් පස්‌සේ පන්නමින් ඉහළට යනවා. මේ වෙලාවේ මව කළේ පහළට ඇවිත් ගසේ අතු බෙදෙන ප්‍රධාන කරුව අසල රැඳී ඇවිත් සිටි එකයි. ඌ එහෙම කළේ කලබල වුණු වඳුරන්ට ගහෙන් බැහැලා යන්න බැරි වෙන්නයි. පැටවුන් අතු අතර සිටින වඳුරන් පන්නමින් අතු අතර දුවනවා. මව එදෙස බලාගෙන අවධානයෙන් ඉන්නවා. කොටි මවට වඳුරන් ගේ භයක්‌ තිබුණත් පැටවුන්ට භයක්‌ නැහැ. ගසේ අතු අතර දුවපු කොටි පැටවුන් මහන්සි වී සිටින විට වඳුරන් උන් ළඟට එනවා. උන් පැටවුන් පන්නනවා. මේ ආකාරයට පැටවුන්ට දඩයම් උගන්වන අවස්‌ථා බොහොමයක්‌ සිදු වෙනවා. සමහර වෙලාවට කොටි මව, ගස මුල රැ`දී සිටිනවා. මෙවන් අවස්‌ථාවක දී දුවද්දී ගසෙන් වැටෙන වඳුරන් කොටි මව විසින් දඩයම් කරනු ලබන අවස්‌ථා තිබෙනවා.

කොටියා අවස්‌ථාවාදී සතෙක්‌. බොහෝ විට දඩයමට අවස්‌ථාවක්‌ එනතෙක්‌ බලා සිටිනවා. කුස පිරී තිබුණු අවස්‌ථාවක දඩයම් නො කළත් සැණින් දඩයමට අවතීර්ණ වෙනවා. වනාන්තරයක දී වුවත් සාමාන්‍ය පරිසරයක දී වුවත් සැඟවී සිටීමේ හැකියාවක්‌ තිබුණත් අලියා ගෙන් හා වලසා ගෙන් මෙන් මිනිසාට හිරිහැරයක්‌ නැහැ. මිනිසුන් සිටින ප්‍රදේශවල වුණත් ඉතා ම පරෙස්‌සමෙන් සැ`ගවී ජීවත් වීමට උත්සාහ කරන කොටියා මිනිසුන් සම`ග සම්බන්ධතාවක්‌ ගොඩන`ගා ගන්නේ නැහැ.

වියළි කලාපයේ රක්‍ෂිත වනාන්තරයක කොටියා ගේ ව්‍යාප්තිය වැසි වනාත්තරවල ව්‍යාප්තියට වඩා වෙනස්‌. මෙහි දී වියළි කලාපයේ රක්‍ෂිත වනාන්තරවල, තෙත් කලාපයේ වනාන්තරවලට වඩා වැඩි පැතිරීමක්‌ පෙන්නුම් කරනවා. වියළි කලාපයට අයත් වනාන්තර වර්ගීකරණය කළොත් ලඳු කැළෑ, ඝන කැළෑ, රූස්‌ස වනාන්තර යනාදිය අයත් වෙනවා. ඒ නිසා වියළි කලාපීය වනාන්තරවල කොටියා ගේ පැතිරීම තෙත් කලාපීය වනාන්තරවලට වඩා වැඩි බවක්‌ පෙන්නුම් කරනවා. විශාල වනාන්තර ප්‍රදේශයක්‌, ඒ කියන්නේ වර්ග කිලෝමිටර් 1000ක්‌ පමණ වනාන්තරයක්‌ වර්ග කිලෝ මීටර් 50 බැගින් කැබැලිවලට කැඩී ගියොත් එක කොටසක සිට අනෙක්‌ කොටසට සංක්‍රමණය වීමට කොටියකුට අපහසු බැවින් උන් අතර සිදු වන ප්‍රජනනයේ දී ජාන සමාන වීමක්‌ සිදු විය හැකියි. මුල් කාලයේ දී සතුන් ගේ ගහනයේ අඩු වීමක්‌ සිදු නො වුණත් දිගු කාලයක්‌ තුළ ජාන සමාන වීමක්‌ ඇති වී උන් ගේ ගහනයේ වඳ වීමක්‌ සිදු වෙන්න පුළුවන්. ඒ නිසා වනාන්තර එළි පෙහෙළි කිරීම කොටින්ට මෙන්ම අනික්‌ වන සතුන් ගේ පැවැත්මටත් හානි කරන පරිසර දූෂිත ක්‍රියාවලියක්‌. කැළෑ බිම් ක්‍රමයෙන් ගම්මාන බවට පත් වන විට ඉතිරි වූ කැළෑ කුට්‌ටිවල කොටියා දහවල දී සැඟවී රහසිගතව ජීවත් වෙනවා. ඒත් රාත්‍රියේ දී කරන සංචරණයේ දී ගම්මානවලට ඇවිත් බල්ලන්, හරකුන්, එළුවන් වගේ සතුන් අල්ලා ගෙන යනවා. ගම්මානවලට කොටි එන්නේ ඒ නිසායි. ඉතා ම හොඳින් නිරික්‍ෂණය කළොත් පමණයි මෙවන් කැළෑ කුටිට්‌යක කොටියකු ඉන්න බව දැන ගන්න ලැබෙන්නේ. ඒත් උන් ඒ කැළෑ කුට්‌ටිය තුළත් අඩවියක්‌ නිර්මාණය කරගෙනයි ජීවත් වෙන්නේ.

කොටි භාර අරමුදල

කොටි භාරය (Leopard Trust) යනු ශ්‍රී ලංකාවේ කොටියා ඇතුළු අනෙක්‌ වන සතුන් සංරක්‍ෂණය කිරීමේ අරමුණින් පිහිටුවන ලද දේශීය සංවිධානයකි. මෑත කාලයේ පිහිටුවන ලද විධිමත් සංවිධානයක්‌ වන මේ කොටි භාරය පිළිබඳව රුක්‌ෂන් ජයවර්ධන මහතා අදහස්‌ දැක්‌වූයේ මේ අයුරිනි.

ලෙපර්ඩ් ත්‍රස්‌ට්‌, එහෙම නැත්නම් කොටි භාරය අපි කීප දෙනෙක්‌ එකතු වෙලා පිහිටුවා ගත් දේශීය සංවිධානයක්‌. කොටියා කියන ක්‍ෂීරපායි සත්ත්වයා ශ්‍රී ලංකාවට ඉතා ම වැදගත් ජීවියෙක්‌. ඒ නිසා තමයි මේ සංවිධානය පිහිටෙව්වේ. ඒ කාලේ අපිට මේ සත්ත්වයා පිළිබ`දව තිබුණේ අඩු දැනුමක්‌. කැළේ දී අහඹු ලෙස දකින මේ සුන්දර ක්‍ෂීරපායි සත්ත්වයා නිසා අපි බෙහෙවින් සතුටු වෙනවා. ඡායාරූප ගන්නවා. නමුත් මේ සත්ත්වයා සංරක්‍ෂණයක්‌ සිදු වෙන්නේ නෑ. ඒ කාලේ වන ජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට මේ සතා ගැන තිබුණේ අඩු දැනුමක්‌. නමුත් විශේෂ උනන්දුවක්‌ තිබුණා. ඉන් පසුව අපි කළේ මේ සතා ගැන අධ්‍යයනයක්‌ කරල දැනුමක්‌ ලබා ගැනීමෙන් පසු පාසල් සිසුන් හා රටේ ජනතාව දැනුවත් කිරීමයි. මේ අතරේ තමයි මිතුරන් කීප දෙනෙක්‌ එකතු වෙලා කොටි භාරය පිහිටුවා ගත්තේ. එහි ප්‍රථම කාර්යය හැටියට කොටියා පිළිබ`දව පොතක්‌ නිර්මාණය කරන්න කටයුතු කළා. මෙහි දී මුලින් ම අපට අවශ්‍ය වුණේ හොඳ ඡායාරූප එකතුවක්‌ හදා ගන්න. උන් ගේ හැසිරීම් රටා අධ්‍යයනය කරමින් දිවා රෑ වනෝද්‍යානවල සැරිසරමින් අපි හොඳ ඡායාරූප එකතුවක්‌ හදා ගත්තා. කොටියා කැළෙන් මතුවෙන කොට කලබල නො වී ඌ නවත්වාගෙන ළඟට ගෙන්වා ගන්නා ආකාරයක්‌ අපි අත්දැකීමෙන් ඉගෙන ගත්තා. කට හ`ඩ භාවිත කරලා එසේත් නැත්නම් නිහඬ ව ඉඳලා උන් අපි අධ්‍යයනය කළා. ඒ වෙනකොට අපි දන්නා හැම දෙයක්‌ ම ඇතුළත් කරලා වසර 2003 දී අපි ඒ පොත පළ කළා. සැලකිය යුතු මුදලක්‌ වියදම් කර මනා නිමාවකින් තමයි ඒ පොත පළ කළේ. අවශ්‍ය මුදල් අපේ කණ්‌ඩායමේ කෙනෙක්‌ පරිත්‍යාගයක්‌ හැටියට ලබා දුන්නා. අප අතරින් වෙන් වූ වෛද්‍ය රවි සමරසිංහත්, ජෙහාන් කුමාරත් සහ මමත් මූලිකත්වය අරගෙන තමයි මේ පොත පළ කළේ. ලිපි හා ඡායාරූප අපේ පරිත්‍යාගයන් වුණා. මුල් පොත් පෙළ විකුණා ලබාගත් මුදලින් අපි අරමුදලක්‌ පිහිටෙව්වා. ඒ තමයි කොටි භාර අරමුදල. මේ අරමුදලේ ව්‍යවස්‌ථාව අනුව මුදල් වියදම් කිරීමට හැකියාව තිබෙන්නේ කොටියා ගේ සංරක්‍ෂණය සඳහා පමණයි. වන ජිවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අපි උදව් කළත් වන ජීවි සංරක්‍ෂණ දෙපාර්තමේතුවේ ගොඩනැ`ගිලි ඉදි කිරීමට හෝ පාරවල් ඉදි කිරීමට හෝ අපි මුදල් වියදම් කරන්නේ නෑ. වැවක්‌ ප්‍රතිසංස්‌කරණය කරන්න මුදල් වැය කරනවා. වතුර වළක්‌ නිර්මාණය කිරීම වගේ දේවලට මුදල් වැය කරනවා. මොකද සෘජු ව ම කොටියාටත් අනෙක්‌ සතුන්ටත් එයින් ප්‍රයෝජනයක්‌ වන නිසා. දෙපාර්තමේන්තුවේ සේවය කරන අය ගේ සුබසාධන කටයුතුවලට මේ මුදල් වැය කරන්නේ නෑ. ඒත් වැටලීම් කණ්‌ඩායම්වල අවශ්‍යතාවට අනුව මුදල් වියදම් කරනවා. ඒ කියන්නේ වැටලීමකට යැමේ දී අත්‍යවශ්‍ය බඩුබාහිරාදිය, විදුලි පන්දම්, බැටරි, ආහාර වැනි දේ ස`දහා මුදල් වියදම් කරනවා. පැහැදිලිවම අපි මේ අරමුදල පිහිටුවා තිබෙන්නේ කොටියා ගේ සංරක්‍ෂණයටත් අනෙක්‌ සතුන් ගේ සුබසාධනයටත් පමණයි. මේ අරමුදලේ අනෙක්‌ ප්‍රධාන කාර්යය තමයි, පාසල් සිසුන් වගේ ම ප්‍රජාව දැනුවත් කිරීම. මේ දිනවල අපි පොතේ සිංහල පරිවර්තනය සකස්‌ කරගෙන යනවා. ඒ වැඩේ සම්පූර්ණ වුණොත් පාසල්වලට මෙය නොමිලේ ලබා දීමටත් පිටස්‌තර අයට සහන මිලකට ලබා දීමටත් අපට හැකි වේ වි.

ශ්‍රී ලංකාවේ මිනී කන කොටියා

දඩයමේ දක්‍ෂ කොටියා මිනිසුන් දුටු විට මඟහැර යැමේ ස්‌වභාවයක්‌ අනුගමනය කරයි. මෙය කොටියා ගේ ස්‌වාභාවික ලක්‍ෂණයක්‌ වුවත් මිනිස්‌ දඩයමට පුරුදු කොටි නිසා මිනිස්‌ ජීවිත රැසක්‌ අකාලේ අහිමි වූ බැව් සත්‍ය තොරතුරුවලින් අනාවරණය වෙයි. ආසියාවේ එවැනි සිද්ධි තුනක්‌ වාර්තා වෙයි. වර්ෂ 1918 - 1926 යන කාල සීමාවල ඉන්දියාවේ උත්තර ප්‍රාන්තයේ විසූ රුද්‍රප්‍රයාග්හි මිනී කන කොටියා පළමු වැන්නා වූ අතර දෙවැන්නා ශ්‍රී ලංකාවේ මඩකලපුවේ පුනානි ප්‍රදේශයේ විසූ පූනානිහි මිනී කන කොටියා විය. තුන්වැන්නා ශ්‍රී ලංකාවේ මඩකලපුව කෝමාරි ප්‍රදේශයේ විසූ කෝමාරිහි මිනිකන කොටියා වේ. මෙහි දී මිනී කන කොටියා ලෙස අර්ථ දක්‌වන්නේ මිනිසා පසු පස ගොස්‌ හෝ මිනිසකු එන තෙක්‌ බලා සිට දඩයම් කර ආහාරයට ගන්නා කොටි මිස මිනිසකු ගේ මළ කුණු ආහාරයට ගන්නා කොටියෙක්‌ නො වේ. එහෙත් පූනානිහි මිනී කන කොටියා මිනී කෑමට පුරුදු වී ඇත්තේ වැස්‌සෙන් බේරීමට ගෝනියක්‌ ඇෙ`ග් පොරවාගෙන සිටි හරක්‌ බලන කොලුවකු දඩයම් කර මරා කෑමෙන් පසු ව ය.

ඉන්දියාවේ රුද්‍රප්‍රයාග්හි මිනී කන කොටියා වර්ග සැතපුම් 500 ප්‍රදේශයක විසූ මිනිසුන් 125 දෙනකු අවුරුදු 9ක කාලයක්‌ තුළ දඩයම් කළ බැව් ජිම් කෝබට්‌ විසින් ලියන ලද නම් The Man Eatar of Punani කෘතියෙන් පැහැදිලි කරයි. මේ කෘතිය ශ්‍රී ලාංකික පරිසරවේදියකු වන ඩග්ලස්‌ බී. රණසිංහයන් විසින් ''ශ්‍රී ලංකාවේ පූනානිහි විසූ මිනී කන කොටියා'' යනුවෙන් සිංහලයට පරිවර්තනය කර ඇත. පූනානි ප්‍රදේශයේ ගැවසුණු මේ මිනී කන කොටියා 1924 වසරේ මාස 6ක්‌ තුළ මිනිසුන් 20 දෙනකු මරා ගොදුරු කරගෙන ඇති අතර කෝමාරිහි විසූ මිනී කන කොටියා වර්ෂ 1936 දී මිනිසුන් 4 දෙනෙකු දඩයම් කර ඇත. පූනානිහි විසූ මිනී කන කොටියා ශ්‍රී ලංකාවේ විසූ බ්‍රිතාන්‍ය ජාතික වැවිලිකරුවකු මෙන්ම දඩයක්‌කරුවකු වූ රොජර් ෂෙල්ටර් ආගර් විසින් 1924 අගෝස්‌තු මස 18 වැනි සඳු දින සවස 3.00ට වෙඩි තබා මරන ලදී. කෝමාරිහි විසූ මිනී කන කොටියා වසර 1936 දී ක්‌ලෙමන්ට්‌ බර්තොලමියුස්‌ නම් දඩයක්‌කරුවකු විසින් ඔහුව ගොදුරු කර ගැනීමට පසු පසින් එන විට වෙඩි තබා මරා දමන ලදී. එතැන් පටන් ශ්‍රී ලංකාව තුළ මිනී කන කොටින් පිළිබ`දව කිසිදු වාර්තාවක්‌ හෙළිදරව් වී නැත.
අද සතියේ විමසුම
අමල් උඩවත්ත

No comments:

Post a Comment