ජගත් පරිසර විමසුම 101 - ධනේෂ් විසුම්පෙරුමඩර්බන් එකඟතාවය කෙතරම් ඵලදායක ද?
දෙසතියකට ආසන්න කාලයක් තිස්‌සේ දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයේ දී පැවැති එක්‌සත් ජාතීන් ගේ දේශගුණ සමුළුව කිසියම් ආකාරයක එකඟතාවයක් සහිතව අවසන් වී ඇත. පසුගිය සිකුරාදා අවසන් වීමට නියමිතව තිබූ සමුළුව ඉරිදා දක්‌වා තවත් පැය තිස් හයක් පමණ කාලයක් දක්‌වා දිග් ගැසී ගියේ අවසන් එකඟතාවයක් පිළිබඳව ඇති වූ ගැටලූ සහගත තත්ත්වය නිසා ය. ඇතැම් රටවල නියෝජිතයන්ට මෙන් ම පොදුවේ සමුළුවේ දී තීරණයක් නො ලැබෙනු ඇතැයි යන බිය නිසා අවසන් දින කිහිපයේ දී රාජ්‍ය නොවන සංවිධාන හා වෙනත් ක්‍රියාකාරීන් විසින් දියත් කළ විවිධ උද්ඝෝෂණ ද දැකිය හැකි විය. මේ සියල්ල නිසා හුදෙක් තවත් එක් සමුළුවක් වන්නට තිබූ ඩර්බන් සමුළුව අවසානයේ දී යම් ප්‍රතිඵලයක් ඇති වී තිබෙන බව පෙනේ.
ඩර්බන් එකඟතාවය කුමක් ද?
මේ සාකච්ඡාවල දී ඇති වූ එකඟතා අතර ප්‍රධාන වන්නේ 2020 වර්ෂයේ පටන් ක්‍රියාත්මක වන නෛතික වශයෙන් බලපෑමක් කළ හැකි ආකාරයේ ගිවිසුමක් 2015 වර්ෂයේ දී ඇති කර ගැනීමට ඇති කරගත් එකඟතාවයයි. ඩර්බන් වේදිකාව සේ ද හැඳින්වෙන එය දියුණු හා දියුණු වන යන රටවල් සියල්ලට ම බලපාන ආකාරයේ එකක් වීම වැදගත් ය. ඒ සඳහා වන සාකච්ඡා ලබන වසරේ දී ඇති වීමට නියමිත ය. මේ සඳහා වන මග සැලසුමක් පිළිබඳව ද එකඟ වී ඇත. මේ සමුළුවේ දී යම් ප්‍රතිඵලයක් අපේක්‌ෂාවෙන් කටයුතු කළ අවම දුප්පත් රටවල් හා දූපත් රාජ්‍ය එකමුතුව හා ඒ උත්සාහයට සහයෝගයක් දුන් යුරෝපා සංගමය මේ ප්‍රතිඵලය සඳහා මුල් වූ බව පෙනේ. වර්තමාන දේශගුණ වෙනස්‌වීම පාලනය කළ හැකි ප්‍රාමාණික විසඳුමක් නොමැති බැවින් නව නෛතික බැඳීමක් සහිත ගිවිසුමක් ඇති කර ගැනීමේ ඇති වැදගත්කම ඔවුහු දිගින් දිගටම පෙන්වා දුන්හ. එහි ප්‍රතිඵලය වූයේ මේ එකඟතාවය සඳහා රටවල් කැමැති කර ගැනීමට හැකිවීම ය.
මේ එකඟතාවය ඇති කර ගැනීමේ දී ගැටලූ ඇති නො වූයේ නො වේ. නිදසුනක් ලෙස වේගවත් කාර්මීකරණය වෙමින් ඇති එසේම හරිතාගාර වායු විමෝචන ද අධික ලෙස නිකුත් කරන රටවල් කිහිපය අතරින් එකක් වන ඉන්දියාව මේ පිළිබඳව යම් යම් විවේචන ඉදිරිපත් කර තිබේ. චීනය ද දැරූයේ සමාන අදහසකි. ඔවුන් ගේ විරෝධය වැඩි වශයෙන් එල්ල වූයේ සියලූ රටවලට බලපාන ආකාරයේ එකඟතාවයක් ඇති කර ගැනීම ගැන ය. කෙසේ වෙතත් යම් යම් වගන්ති වෙනස් කිරීමෙන් පසුව අවසානයේ දී ඔවුන්ගේ ද කැමැත්ත ඇති ව ඩර්බන් එකඟතාවය ඇති විය.
මේ අතර දේශගුණ වෙනස් වීමේ බලපෑමට ලක්‌වන දුප්පත් රටවලට සහය වීම සඳහා පිහිටුවා ඇති හරිත දේශගුණ අරමුදලේ කළමනාකරණ රාමුව ද ඩර්බන් හි දී පිළිගැනීමට ලක්‌විය. එහෙත් 2020 වර්ෂය වන විට වාර්ෂිකව ඩොලර් බිලියන 100ක් තරම් වන ඊට අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට තව කලක් ගත විය හැකි බව පෙනේ. එසේම මේ සම්බන්ධව ඇතැම් රටවල් ලබා දී ඇති පොරොන්දු ඉටු වේ ද යන්න ද විමසා බැලිය යුතු කරුණකි.
මේ අතර කියෝටෝ සන්ධානයේ වගකීම් තවත් වසර පහක කාලයක් තෙක් දිගු කිරීමට ද එකඟතාවයක් ඇති විය. මෙය දියුණු වන රටවල් විසින් සිදුකරන ලද ඉල්ලීමකි. මෙය වැදගත් වන්නේ හරිතාගාර වායු විමෝචන සීමා කිරීමට හේතුවන දැනට ක්‍රියාත්මක එකම පියවර මේ වන නිසා ය.
එකඟතාවල ඵලදායකත්වය
මේ ඇතිකරගත් එකඟතාවය පිළිබඳව සමුළුවේ මූලාසනයේ අදහස වූයේ 'අද දිනයේ හෙට බේරාගතිමු' යන්න ය. එසේම මෙය ඓතිහාසික එකක් බව ද පෙන්වා දී තිබේ. බොහෝ දියුණු රටවල අදහස ද මේ හා සමාන බව දියුණු රටවල නියෝජිතයින් දක්‌වන අදහස් අනුව පෙනේ. එහෙත් එය එසේ වේ ද යන්න අපට නම් තරමක් ගැටලූ සහිත ය. ලෝකය ඉදිරියේ ඇති යම් යම් අභියෝග ජය ගතහොත් එදිනට මේ ගිවිසුම ඓතිහාසික එකක් වනු නියත ය.
කෙසේ වෙතත් උක්‌ත එකඟතාවය කෙතරම් ඵලදායී ද යන්න විමසා බැලීම වැදගත් වේ. නිදසුනක් ලෙස ගතහොත් මේ ඇති වී තිබෙන්නේ 2020 තරම් ඈත අනාගතයේ දී ක්‍රියාත්මක වීම ආරම්භ වන ගිවිසුමක් 2015 දී ඇති කර ගැනීම සඳහා වූ එකඟතාවයක් හා යම් මග සැලසුමක් පමණි. එවැනි එකඟතා මින් පෙර ද ඇති වී ඇතත් ඒ අනුව කටයුතු සිදු නොවූ බව අප අමතක නො කළ යුතු ය.
මේ එකඟතාවයේ ප්‍රතිඵලය තීරණය වන්නේ 2015 දී ඇති කරගන්නා ගිවිසුම කෙබඳු ආකාරයේ එකක් වන්නේ ද යන්න මත බව පැහැදිලි ය. එය කෙතරම් ප්‍රබල එකක් වන්නේ ද යන්න තීරණය වන්නේ මීළඟ වසර කිහිපය තුළ දී ය. එසේම ඩර්බන් එකඟතාවයේ නො එන නෛතික වගකීම මේ අනාගත ගිවිසුමට කෙබඳු ආකාරයකින් එහි සඳහන් වන්නේ ද යන්න ද වැදගත් වනු ඇත. දැනට පෙනෙන්නට ඇති ආකාරයට මේ ඇති වන්නට යන්නේ තවත් ස්‌වේච්ඡා වගකීමක් සහිත ගිවිසුමක් බඳු එකකි. කුමන රටක් කවර අයුරකින් ඊට සම්බන්ධ වේ ද යන්න මෙහි දී වැදගත් වනු ඇත.
මෙහි ප්‍රතිඵල ප්‍රමාද වැඩි වේ ද?
මේ එකඟතාවය පිළිබඳව ඇති බරපතළම ගැටලූව වන්නේ වර්ෂ 2015 දී යම් එකඟතාවයක් ඇති වී එහි ප්‍රතිඵල ලැබෙන්නේ 2020 වර්ෂයටත් පසුව වීම ය. ඒ අනුව තවත් වසර අටකට අධික කාලයක් තිස්‌සේ වර්තමානයේ මෙන් පාලනයකින් තොරව හරිතාගාර වායු විමෝචන නිකුත් කිරීමට සියලූම රටවලට හැකියාව ලැබී තිබේ. ඒ තත්ත්වය අනුව අදාළ කාලය වන විට ලෝක දේශගුණ වෙනස් වීම පාලනය කිරීමට ලෝකය ප්‍රමාද වැඩි විය හැකි ය.
එහෙත් එතෙක් කලක් අපට තිබේ ද? ලෝකය මේ වන විටත් දේශගුණ වෙනස් වීමේ බරපතළ බව අත්විඳිමින් සිටියි. වර්තමාන තත්ත්වය කඩිනමින් පාලනය නො කළ හොත් හරිතාගාර ආචරණයේ වඩා බරපතළ විපාක අත්විඳින්නට ලෝකයට සිදුවන බව පෙන්වා දී තිබේ. නිදසුනක් ලෙස ආරක්‌ෂිත ඉලක්‌කය සේ පුළුල් සේ පිළිගන්නා සෙල්සියස් අංශක දෙකේ සීමාව තුළ ලෝකයේ උෂ්ණත්වය ඉහළ යාම සීමා කිරීමට නො හැකි විය හැකි ය. එහි ප්‍රතිඵලය වන්නේ අහිතකර විපාකවල දැඩි ප්‍රතිඵල විඳීමට සිදුවීමය. අවාසනාවකට මෙන් මේ ප්‍රතිඵල වැඩි වශයෙන් අත් විඳින්නට සිදුවන්නේ දියුණුවන හා දුප්පත් රටවලට ය.
අනෙක් අතට දියුණු රටවල් දේශගුණ වෙනස් වීම හා සම්බන්ධ තම ඓතිහාසික වගකීමෙන් මිදී ඇති බව පෙනී යයි. ඒ සියලූ රටවලට පාහේ බැඳීමක් ඇති ගිවිසුමක් පිළිබඳව මෙ සමුළුවේ දී පොරොන්දු වී ඇති නිසා ය. මේ බව චීනය හා ඉන්දියාව විසින් නැවත නැවතත් පෙන්වා දෙන ලද්දකි. එහෙත් ඉතා පැහැදිලිව පෙනී ගිය ආකාරයට දියුණු රටවල් මෙවැනි පියවරකට ගෙන ඒමට දියුණු වන රටවල් ද එවැනි පියවරකට කැමැති වීම අවශ්‍ය වූ බව පෙනේ. මෙතෙක් ඒ මතයේ නො සිටි යුරෝපා සංගමයේ රටවල් ගණනාවක් ද ඊට සමාන අදහස් දැරීමෙන් ඒ බව පෙනේ.
මේ කරුණු අනුව ලෝකය දවන මේ ගැටලූවට විසඳුම් ලබා දීම පමා කිරීමෙන් ලෝකයේ ජනතාව පාවාදී ඇති බවට නැගී ඇති තර්කය සාධාරණ බව ද පෙනේ. එය දේශගුණ සාකච්ඡා අසාර්ථකත්වයෙන් බේරා ගත්ත ද දේශගුණ අර්බුදයෙන් ලෝකය බේරා ගැනීමට සමත් වේද යන්න අනාගත ගිවිසුම මත තීරණය වන්නකි.
No comments:
Post a Comment