උතුරු නැඟෙනහිර සිවිල් යුද්ධය ජයගත් ආණ්‌ඩුව දැන් සිටින්නේ රට දියුණු කිරීමේ සංඛ්‍යාතයකට එළැඹී ය. යුද්ධය නිසා ශ්‍රී ලංකාවේ සංවර්ධනය ඇනහිට තිබූ බවත් හා ඒ පමාව වහා නිවැරැදි කරගත යුතු බවත් රජයේ ප්‍රධාන තේමාවක් ව තිබේ.
රජය මැදිහත් ව සිදු කැරෙන යටිතල පහසුකම් ඉහළ නැංවීමක් රට පුරා දැකිය හැකි අතර ඒ අතර මාර්ග සංවර්ධනය ප්‍රධාන ඉලක්‌කයක් වී තිබෙන බව ද පෙනෙන්නට තිබේ. ග්‍රාමීය මාර්ගයන්හි කාපට් ඇතිරීම බහුලව සිදු වන අතර පසුගිය දා විවෘත කැරුණු දක්‍ෂිණ ලංකා අධිවේග මාර්ගය මේ සංවර්ධනයේ ප්‍රධාන සංකේතය වේ.
කෙසේ වුව ද මාර්ග සංවර්ධනය හා මානව සංවර්ධනය අතර සබැඳියාව ආණ්‌ඩුවේ ප්‍රචාරක වැඩසටහන්වල තරම් සරල නැත. ඇතැම් අවස්‌ථාවල මාර්ග සංවර්ධනය ප්‍රදේශයක පැවැත්මට අහිතකර බලපෑමක් ඇති කළ හැකි ය.
දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගය මඟින් ගම්මාන, ඉඩම්කඩම්, දෙපලු වී ගිය ආකාරය ගැන ආණ්‌ඩු පක්‌ෂයේ ම ඇතැම් අමැතිවරු මැසිවිලි නැඟූ අවස්‌ථා පසුගිය දිනවල වාර්තා කර තිබිණි.
ස්‌වාභාවික පරිසර පද්ධති ගත් කල මාර්ග සංවර්ධනය වූ කලී ඒවායේ පැවැත්මට බරපතළ තර්ජනයක් එල්ල කරන සාධක අතුරෙන් එකකි. මාර්ගයක් මඟින් ඇති කැරෙන සමාජ ආර්ථික වාසි ඉන් සිදු විය හැකි පාරිසරික හානි සමග තුලනය කිරීම සැලසුම් අවස්‌ථාවේ සිට ම සිදු විය යුත්තකි.
සිංහරාජයේ නැඟෙනහිර කොටසේ ඉලුඹකන්ද සිට සූරියකන්ද දක්‌වා ඉදි කිරීමට යෝජිත ව තිබූ මාර්ගය මේ කරුණ වඩාත් පැහැදිලිව කරළියට ගෙන ආ අවස්‌ථාවක් ලෙස සැලකිය හැකි ය.
එම මාර්ගය තැනීම අත්හිටුවීමට පසුගිය දා රජය ගෙන ඇති තීරණය සැලකිය යුත්තේ ඉතා බුද්ධිමත් තීන්දුවක් ලෙස පමණක් නො වේ. මෙබඳු අවස්‌ථාවන්හි දී අනාගතයට ද ගුරු කොට ගත හැකි උදාහරණයක් ලෙස ය.
පරිසර අමාත්‍යවරයා විසින් රජයේ තීන්දුව පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලද අතර ඒ පිළිබඳව සොයා බලා කමිටුවේ ප්‍රධාන නිර්දේශ අනුව කටයුතු කරන බවට ප්‍රතිඥාවක් ද දී තිබිණි.
ඉලුඹකන්ද සිට සූරියකන්ද දක්‌වා වූ මාර්ගය පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුව මඟින් ප්‍රකාශයට පත් කර තිබෙන වාර්තාව මෑතකාලීනව පරිසර ක්‍ෂෙත්‍රයේ සිදු වූ වැදගත් ප්‍රකාශනයක් ලෙස සැලකිය හැකි ය.
ප්‍රදේශයේ පාරිසරික වැදගත්කම, මාර්ගයෙන් ලැබෙන්නේ යෑයි අනුමාන කැරෙන වාසි හා සසඳා ඔවුන් ඉදිරිපත් කර තිබෙන වාර්තාව සමබර හා ශාස්‌ත්‍රීය එකක් ලෙස ද සැලකිය හැකි ය.
ඉලුඹකන්දේ සිට සූරියකන්ද දෙසට ඉදි කිරීමට යෝජිත වූ මාර්ගය අත්හිටුවීමට නිර්දේශ කිරීමට කමිටුව උපයෝගී කර ගෙන තිබෙන්නේ එම ප්‍රදේශයේ පවතින ජෛවවිද්‍යාත්මක වැදගත්කම මෙන්ම සිංහරාජයේ දැනට ආරක්‌ෂිත ප්‍රදේශයක් ලෙස නම් කර ඇති කලාපයත් යාබද හඳපාන්ඇල්ල-කබරාගල- ගොන්ගල කඳුවැටියේ හමු වන වැසි වනාන්තර යා කරන පාලමක් ලෙස ද කටයුතු කරන බිම දෙපලු කරමින් යෝජිත මාර්ගය වැටී තිබීම ය. (රූපය)
සිංහරාජ වනාන්තරය ශ්‍රී ලංකාවේ අංක එකේ ජෛවවිවිධත්ව රක්‍ෂිතය ලෙස සැලැකේ.
කලකට ඉහත අඛණ්‌ඩ වන බිමක් ව පැවැති සිංහරාජ මහමූකලානෙන් අද ඉතිරි ව ඇත්තේ ලෝක උරුම රක්‍ෂිතයක් ලෙස නම් කොට තිබෙන හෙක්‌ටයාර 11000ක් පමණ වූ බිම් පෙදෙසත් නැඟෙනහිර පෙදෙසේ ඉතිරි ව ඇති වානාන්තර කුට්‌ටි කිහිපයක් පමණි.
වනාන්තරයේ තරම කුඩා වන තරමට එහි දරාගත හැකි ජීව විශේෂ සංඛ්‍යාව සීමා වෙයි. මෙය ජෛවවිවිධත්ව සංරක්‍ෂණයේ දී හැඳින්වෙන්නේ විශේෂ- ක්‍ෂෙත්‍රඵල සබඳතාව ලෙස ය. ප්‍රමාණයෙන් කුඩා වූ වනාන්තර කුට්‌ටි කිහිපයක් වුව ද යා කරන වන බිම් තීරු පවත්වාගත හැකි නම් එය කුඩා කුට්‌ටි සියල්ල එක් ව තැනුණු විශාල වන බිමකට ආසන්න ස්‌වභාවයක් පෙන්වයි. අන් වචනවලින් කිව හොත් තනි තනි ව තිබෙන වනාන්තර කුට්‌ටිවලට වඩා එකිනෙක යා ව පවතින වනාන්තර කුට්‌ටි තුළින් ජීව විශේෂ වඳ වී යැමට තිබෙන ඉඩකඩ අඩු ය. මේ කරුණ සනාථ කිරීමට සාධක ඕනෑවටත් වඩා වැඩි ප්‍රමාණයක් පසුගිය වසර 30-40 තුළ එකතු වී තිබේ.
සිංහරාජ මහමූකලානේ අද ඉතිරි ව තිබෙන කුට්‌ටි වෙත මේ මූලධර්මය ගැලපුව හොත් ඉන් කියෑවෙන්නේ දැනට රක්‍ෂිතයක් ලෙස නම් කැර ඇති බිම් පෙදෙස තුළින් හෝ ඉන් පිටත පවතින වනාන්තර කුට්‌ටි තුළ ජීවීන් වඳ වී යැමේ ඉඩකඩ මේ වනාන්තර කුට්‌ටි එකට යා වූ තනි පද්ධතියක් ඇති කිරීම මඟින් වැළැක්‌විය හැකි බවයි.
මේ කරුණ පෙන්වා දී එකී වනාන්තර කුට්‌ටි යා කොට සංරක්‌ෂණය කිරීමේ වැදගත්කම මුලින් ම පෙන්වා දෙන ලද්දේ 90 දශකය අග දී සිදු කළ ජාතික සංරක්‍ෂණ සමාලෝචනය මඟිනි. පසුගිය වසර 10 තුළ මේ කරුණ මතු කළ කැබිනට් මණ්‌ඩල නිර්දේශ 2ක් හා ජනාධිපති නිර්දේශයක් තිබුණ ද එය ක්‍රියාත්මක නො විණි. ඒ අතරතුර සිංහරාජයේ රක්‍ෂිත ප්‍රදේශවල පිටින් වූ වනාන්තර කුට්‌ටි කෙමෙන් කෙමෙන් ක්‍ෂය වෙමින් ගියේ ය.
ඉලුඹකන්ද සිට සූරියකන්ද දෙසට ඉදි කිරීමට ගිය මාර්ගය ඉලුඹකන්දෙන් නතර කිරීමට උපදෙස් දීමට අමතරව අවට ඇති මේ වනාන්තර කුට්‌ටි සිංහරාජයට එකතු කර තනි අඛණ්‌ඩව දිවෙන රක්‍ෂිත ප්‍රදේශයක් ලෙස නම් කිරීම හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා සිදු කළ යුතු බව ද මේ පිළිබඳව සොයා බැලු විශේෂඥ කමිටුව නිර්දේශ කර තිබේ.
පරිසර ඇමැතිවරයා එම කාරණය ද කඩිනමින් ඉටු කිරීමට බලාපොරොත්තු වන බව රජයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවේ දී ප්‍රකාශ කර තිබිණි. වත්මන් පරිසර අමාත්‍යවරයා එම පියවර ගත හොත් එය පසුගිය වසර 10ක කාලය තුළ මෙරට ජෛවවිවිධත්ව සංරක්‍ෂණය වෙනුවෙන් ගන්නා ලද වැදගත් ම පියවර ලෙස සැලකිය හැකි ය. පරිසර මතවාද පිළිබඳව පරිචයක් තිබිණැයි සැලකුණ හිටපු පරිසර ඇමැතිවරයාට ද මේ කටයුත්ත ඉටු කිරීමට නොහැකි වූ බව මෙහි දී සිහිපත් කළ යුතු ය.
ඇත්තට ම වසර 10කටත් වඩා මේ කාරණය ප්‍රමාද වීමට දේශපාලනඥයන්ට වඩා වගකිව යුත්තේ ඇල්මැරුණු වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිස බව පැහැදිලි ය. ඇතැම් අවස්‌ථාවල පරිසරය පිළිබඳ නිල වගකීම දරන ආයතනවලට වඩා දේශපාලනඥයන් ඉදිරිගාමී වනු දැකගත හැකි ය. නිදසුනක් ලෙස යෝජිත මාර්ගයේ තෙවැනි කොටස වූ බම්බුමලේ පෙදෙස සිට සූරියකන්ද දක්‌වා කොටස ඉදි කිරීමට පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොර ව තමන් විරුද්ධ බවට කොලොන්න ප්‍රදේශීය සභාව සිදු කළ ප්‍රසිද්ධ ප්‍රකාශය දැක්‌විය හැකි ය.
සිංහරාජය පාර ආශ්‍රිතව හටගත් මේ කතිකාව ජෛවවිවිධත්ව සංරක්‍ෂණයට මාර්ග ඉදි කිරීමෙන් වන බලපෑම වඩාත් සමීපව සලකා බැලීමට අවස්‌ථාවක් කරගත හැකි ය.
පාරක් තැනීමේ දී සිදු වන කාටත් වැටහෙන බලපෑම වන්නේ සෘජු බලපෑම් ය. පාර නිසා ම ඒ මඟ දිගට ජීවත් වූ වෘක්‍ෂ වැනි ජීව ගණයාට ඉන් සමුගන්නට සිදු වෙයි. දෙවැනි සෘජු බලපෑම වන්නේ මාර්ගය භාවිත කරන වාහන හා ගැටීමෙන් සිදු වන මරණයි.
වඩාත් පැහැදිලිව පිටතට නො පෙනෙන වෙනස්‌කම් වන්නේ යාබද වනබිම්වාසී සතුන් ගේ ජීවන රටා හා හැසිරීම්වල සිදු වන වෙනසයි. ඇතැම් ජීවීහු දෙපස වූ වනාන්තර කුට්‌ටිවලින් වඩාත් අභ්‍යන්තරය දෙසට සංක්‍රමණය වන අතර සමහර විවෘත බිම් පෙදෙස් ප්‍රිය කරන ජීවීන් ගේ වැඩි වීමක් මාර්ගය ආසන්නයේ නිරීක්‍ෂණය කළ හැකි වනු ඇත. ආක්‍රමණික ශාක හා සත්ත්ව විශේෂ ඉතා පහසුවෙන් එබඳු මාර්ග හරහා අලුතෙන් විවෘත වූ වනාන්තර කුට්‌ටි වෙත ප්‍රවේශ වන අතර ඒ බිම්වල පැරැණි පදිංචිකරුවන් වූ සුවිශේෂ ජීව ප්‍රජාවන්ට බොහෝ විට මේ නව ආක්‍රමණිකයන් සමග හැප්පීමට නොහැකි ව වඳ ව යැමට සිදු වනු දැකගත හැකි ය.
නව මාර්ග විසින් පැහැදිලිව ම පරිසර පද්ධතියේ ව්‍යqහමය සැකැස්‌ම වෙනස් කරනු ඇත. ඊට අමතරව විවිධ පරිසර සාධකයන්ට නිරාවරණය වීමත්, රථවාහන මඟින් එක් වන ද්‍රව්‍ය නිසාත් එහි රසායනික සංයුතිය ද වෙනස් වන බව පෙන්වා දී තිබේ. විශේෂයෙන් ම මාර්ගය දිව යන්නේ දිය කඳුරු සහිත ප්‍රදේශ හරහා නම් එම දිය පහර දෙපස පරිසරය ද වෙනස් වන අතර එය අධිකුට්‌ටිකරණයක් (Hyperfragmentation) ලෙස විස්‌තර කර තිබේ.
ඇතැම් අවස්‌ථාවල මේ කවරකටත් වඩා නව මාර්ගයකින් සිදු වන බලපෑම වන්නේ මිනිසුන් එම පෙදෙසේ භූමි පරිහරණය මුළුමනින් ම වෙනස් කිරීමට ඊට තිබෙන හැකියාවයි. අනවසර වගාකරුවන්ට, දැව හොරුන්ට නව පිවිසුම් මාර්ගයක් එමඟින් විවෘත වන අතර ඊනියා සමීප හෘදයංගම පරිසර අත්දැකීමක් ලබාගැනීමට අවැසි සංචාරකයන් ඒ ඔස්‌සේ ස්‌වාභාවික පරිසරයේ හද මඬලට පිවිසෙනු ඇත. දෙපරැන්ද අස්‌සට ම fපෝවීල් එකෙන් ගමන් කොට පරිසරය "විඳින්නට" එන නව පන්නයේ පරිසර සංචාරකයන් ගෙන් ඒ බිම් වැසී යන්නට වැඩි කලක් ගත වන්නේ නැත.
ඇත්තට ම සමහර ස්‌වාභාවික පරිසර වෙත මාර්ග ඉදි කෙරෙන්නේ මේ "රෙද්ද අස්‌සට රිංගීමෙන් නො සැනසෙන" පරිසර සංචාරක ව්‍යාපාරිකයන් සනසනු පිණිස ය. ග්‍රාමීය දුෂ්කර ජනතාවට හදිසියේ රෝහල්ගත වීමට පාරක් ඉදි කරන නියායෙන් ගොනා එන්නේ පැළ සියල්ල අනුභවයට ය.
අඛණ්‌ඩව පැවැති පරිසර පද්ධති හරහා මාර්ගයක් ගමන් කිරීමේ දී පරිසර පද්ධතියේ එක් එක් කුට්‌ටියේ තරම කුඩා කරවීමට අමතරව සිදු කරන්නේ නව මායිමක් (edge) ඇති කිරීම ය. සිංහරාජය වැනි වර්ෂා වනාන්තර පරිසර පද්ධතීන්හි ජෛවවිවිධත්වයට කැපී පෙනෙන බලපෑමක් සිදු කරනු ලබන්නේ මායිම් ආසන්නේ සිදු වන වෙනස්‌කම් විසිනි.
දකුණු අමෙරිකාවේ සුප්‍රකට ඇමේසන් වනාන්තරයේ කොටස් කපා හෙළීමේ දී හා නව මාර්ග ඉදි කිරීමේ දී නව මායිම් මඟින් වනාන්තරයේ ජෛවවිවිධත්වට සිදු වන බලපෑම දීර්ඝ ලෙස අධ්‍යයනය කොට තිබේ. (රූපය) එමඟින් පොදුවේ පෙන්වා දී ඇති කරුණ වන්නේ මායිමේ බලපෑම වනාන්තර කුට්‌ටියේ බොහෝ ඇතුළට විහිදෙන බව ය. නිදසුනක් ලෙස සුළං ප්‍රවාහයන් ගේ සිදු වන වෙනස කිලෝමීටර් භාගයක්a පමණ අභ්‍යන්තරයට දැනෙන බව පෙන්වා දී තිබෙන අතර එය වනාන්තරයේ භෞතික මෙන්ම ජීව විශේෂ සංයුතියටත් කැපී පෙනෙන බලපෑමක් ඇති කරයි. කිලෝමීටරටක් පළල වනාන්තර කුට්‌ටියක් ගත හොත් එවැන්නක මායිම් බලපෑමකට ලක් නො වන පෙදෙසක් නො තිබෙනු ඇති බව පැහැදිලි ය.
වනාන්තරය තුළ ජල වාෂ්ප ඝනත්වය මීටර් 100කට ආසන්න ප්‍රමාණයක් ඇතුළතට වන තුරු ම පහළ යන බව පෙන්වා දී ඇති අතර ජලවාෂ්ප ඝනත්වයට සංවේදී උභයජීවීන් වැනි ජීව ගණයාට එමඟින් සිදු වන බලපෑම සෘජු ය. වියන් ස්‌තරයේ පත්‍ර ඝනත්වය මීටර් 50-75ත් අතර පමණක් අභ්‍යන්තරයට යන තුරු ම පහළ යන බව පෙන්වා දී තිබේ. හමු වන කුරුලු සංඛ්‍යාව ද ඒ හා සමාන අභ්‍යන්තරයක් දක්‌වා ම පහළ යයි. මායිමේ සිට මීටර් 300ක් පමණ අභ්‍යන්තරයක් දක්‌වා ම තුරු ලතා මිය යැමේ ප්‍රවණතාව ඉහළ මට්‌ටමක පවතී.
ඉලුඹකන්දේ සිට සූරියකන්ද දක්‌වා මාර්ගය ඉදි වුණේ නම් ඒ ප්‍රදේශයට පමණක් ආවේනික ලෙස දැනට හඳුනාගෙන තිබෙන ජීව විශේෂ අවම වශයෙන් 17ක් වත් ඉතා ඉක්‌මනින් ම වඳ වී යැමට ඉඩ තිබිණි. මේ විශේෂයන් ගෙන් සමහරක් ඉන්දියාවේ බටහිර ඝාට්‌ස් පෙදෙස හා ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ වර්ෂා වනාන්තර මඟින් සනිටුහන් කෙරෙන ජෛවවිවිධත්වය අතින් ලොව වැදගත් ම කලාප 25න් එකක් වන භූමියේ සුවිශේෂතම සාමාජිකයෝ වෙති. මේ ප්‍රදේශයේ ජීවගණයා අඛණ්‌ඩව සිදු වන ජීව පරිණාමය පිළිබඳ කතාන්දරය පැහැදිලි කරන විචිත්‍ර උදාහරණ වෙති.
නැඟෙනහිර සිංහරාජයේ වැසි වනාන්තර වැදගත් වන්නේ එහි ජෛව විද්‍යාත්මක වැදගත්කම නිසා පමණන් නො වන බව විශේෂඥ කමිටු වාර්තාව පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් ජල පෝෂක පෙදෙසක් ලෙස හඳපාන්ඇල්ල, සිංහරාජය, ගොන්ගල හා සිල්වර්කන්ද උසුලන වැදගත්කම ජාතික සංරක්‍ෂණ සමාලෝචන විසින් පෙන්වා දී තිබෙන අතර අධික වර්ෂාව මඟින් සිදු විය හැකි නාය යැම් වළක්‌වන ප්‍රධාන ආරක්‌ෂකයක් ලෙස ද මේ වනාන්තර හඳුන්වා දී ඇත. වියළි කාලයේ කුකුළේගඟ ජලවිදුලි බලාගාරයේ අඛණ්‌ඩ පැවැත්ම වෙනුවෙන් මේ වනාන්තරයන්හි ආරක්‌ෂාව සහතික කිරීම වැදගත් වේ.
සිංහරාජ පාර අත්හිටවූ පමණින් මේ වැසි වනාන්තර ආරක්‌ෂාව සහතික වනු ඇතැයි කිසිවකු විශ්වාස කිරීමට ඉක්‌මන් විය යුතු නැත. නැඟෙනහිර සිංහරාජයේ ආරක්‌ෂිත නො වන වනාන්තර කුට්‌ටි රක්‍ෂිත ප්‍රදේශ බවට පත් කර රක්‌ෂිතයක් ලෙස ඇති සිංහරාජයට ඈඳීම ප්‍රතිඵල දායක වන්නේa එහි දීගකාලීන සංරක්‌ෂණයට වැඩපිළිවෙළක් සකස් වන්නේ නම් පමණි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවරීමට නියමිත මේ වනාන්තර රැකබලාගැනීමට ප්‍රමාණවත් තරම් සේවකයන් හා පහසුකම් සැපයීමට ද කටයුතු කළ යුතු ව තිබේ.
මේ පෙදෙසේ ද සිංහරාජයේ බටහිර කුඩව පෙදෙස මෙන් සංචාරකයන්ට නැරඹීමට අවසර සැලසෙන පිවිසුම් මාර්ගයක් ඇති කිරීමට විශේෂඥ කමිටුව නිර්දේශ කැර තිබේ. එය නම් එතරම් ප්‍රඥාගෝචර නිර්දේශයක් නො වන බව මෙහි දී සටහන් කළ යුතු ය. කුඩව ප්‍රදේශයේ පිවිසුම් මාර්ගය අද මහජන සන්නිපාතයක් සිදු වන පිවිසුම් මාර්ගයක් වන අතර ඒ පෙදෙසේ වන සංරක්‌ෂණ නිලධාරීන්ට සංරක්‍ෂණයට කාලයක් හෝ ඉස්‌පාසුවක් නැත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සංචාරකයන් හසුරුවන දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමට රජය බලාපොරොත්තු වේ නම් සංරක්‌ෂණය වෙනුවෙන් වෙන ම අංශයක් ඇති කළ යුතු ව තිබේ.
නැඟෙනහිර සිංහරාජයට පිවිසුම් මාර්ගයක් මේ පෙදෙසින් ආරම්භ කරන්නේ නම් එහි කුඩවට සිදු ව ඇති දේ සිදු නො වන බවට විශේෂඥයන් වගබලාගෙන සිදු කරන සැලසුමක් අනුව සිදු විය යුතු ය. විශේෂයෙන් මේ පෙදෙසට ඇතුළු විය හැකි ජනතාව කෙතෙක් ද යන්න පිළිබඳව අදහසක් නොමැති ව එය සිදු කළ හොත් ජෛවවිවිධත්වය සංරක්‍ෂණය පැත්තෙන් ඇති වන ප්‍රතිඵලය ඉලුඹකන්ද සූරියකන්ද පාර තැනීමට ඉඩ හළේ නම් ඇති වන තත්ත්වයට බොහෝ වෙනස් නො වනු ඇත.
අද සතියේ විමසුම
වජිර ධර්මවර්ධන
No comments:
Post a Comment