Wednesday, December 21, 2011

vidusara1.jpg (14529 bytes)
මා ඔයේ වැලි කැණීමෙන් සිදු වන මුහුදු ඛාදනය

ශ්‍රී ලංකාවේ ජන ජීවිතය පිළිබඳව විමසීමේ දී ගංගා ඇළ දොළ සහ වැව් වැනි මහා ජලාශ අමතක කළ නොහැකි ය. ඊට හේතු ගණනාවක්‌ ඇත. මෙරට ජන සංස්‌කෘතිය ගොඩනැඟුණේ ජලාශ ආශ්‍රිතව වීම ප්‍රධාන කරුණකි. මා ඔය යනු අනාදිමත් කාලයක සිට මෙරට වටිනා ජන සංස්‌කෘතිය පෝෂණය කළ එවැනි ගංගාවකි.

අරණායක බයිබල් කන්ද හා කඩුගන්නාව කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව උපත ලබා දිස්‌ත්‍රික්‌ක 5ක්‌ හරහා ගලා ගොස්‌ මීගමුව වයික්‌කාලෙන් මහ මුහුදට ගලා බසින මා ඔය එක්‌ අවස්‌ථාවක දී කුරුණෑගල හා කෑගල්ල යන දිස්‌ත්‍රික්‌ක දෙක වෙන් කරන සීමාවක්‌ හෙවත් මායිමක්‌ බවට පත් වෙයි. එසේ ම වරකාපොළ දී කුරුණෑගල හා ගම්පහ යන දිස්‌ත්‍රික්‌ක දෙක වෙන් කරන සීමාවක්‌ බවට පත් වෙයි. මේ අනුව මා ඔය ජලාධාර ප්‍රදේශය මහනුවර, කෑගල්ල, කුරුණෑගල, ගම්පහ, පුත්තලම යන දිස්‌ත්‍රික්‌ක පහ හරහා ගලා ගොස්‌ මහ සයුර හමු වන ආසන්නයේ දී එනම් පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ දකුණු සීමාව වන කොච්චිකඩේ වයික්‌කාල අසලින් මුහුදට ගලා බසී.

මේ අනුව බලන කල මා ඔයේ ජලාධාර ප්‍රදේශයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 1528ක්‌ පමණ වෙයි. ජනාකීර්ණ නගර ලෙස සැලකෙන මාවනැල්ල, කෑගල්ල, පොල්ගහවෙල, නාරම්මල, වරකාපොළ, දිවුලපිටිය, මීරිගම, පන්නල, කටාන, කොච්චිකඩේ යන නගර හරහා ගලා ගොස්‌ වයික්‌කාල ප්‍රදේශයෙන් මුහුදට වැටෙන මා ඔයේ දිග කිලෝ මීටර් 130කි.
 


මාමාඔය ආශ්‍රිතව උලු නිෂ්පාදනයට හෑරූ මැටි වළක්‌

බම්බුකුලිය ඉවුරු ඛාදනය



මාරවිල මුහුදු ඛාදනය
මා ඔයේ ඉහළ සීමාව මිශ්‍ර ගෙවතු වගා, තේ වතු හා කුඹුරුවලින් ද මැද සීමාව රබර් වතු හා කුඹුරුවලින් ද පහළ සීමාව පොල් වතු හා කුඹුරුවලින් ද සමන්විත වෙයි. මේ සැම කොටසක ම සශ්‍රීක වගා රටාවක්‌ තිබෙන බැව් දක්‌නට ලැබේ. නාගරික ප්‍රදේශ ආශ්‍රිතව පොල් හා ගෙවතු වගා මෙන්ම කර්මාන්ත රාශියක්‌ පිහිටා ඇත. මේ ගංගා ෙද්‍රdaණියේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2219ක්‌ වුවත් ජල පෝෂිත ප්‍රදේශයේ වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 3800ක්‌ පමණ වෙයි.

මෙසේ ගලා බසින මා ඔයට අතු ගංගා රැසක්‌ හමු වෙයි. මහනුවර හා කෑගල්ල යන දිස්‌ත්‍රික්‌කවලින් කුඩා ඔය, හිඟුල්ඔය, රඹුක්‌කන් ඔය, ගොඩිගමුව ඔය සහ කොලුගම් ඔය යන අතු ඔය

රැසක්‌ මා ඔයට එකතු වෙයි. මේ ජල මූලාශ්‍ර බොහොමයක්‌ ගමබෙරියකන්ද, නාරන්ගල කන්ද, ඉඟුරුගල කන්ද, අම්බුලුගල කන්ද, ගබ්බල කන්ද, කෙම්පිටිය කන්ද සහ අලගල්ල කන්ද යන කඳු ගැටවලින් උපත ලබයි.

පානීය ජලය

මා ඔය මඟින් කරන එක්‌ ප්‍රධාන කාර්යයක්‌ ලෙස පානීය ජලය සැපයීම විශේෂිත ය. මා ඔය ආශ්‍රිතව පානීය ජල සැපයුම් 14ක්‌ ක්‍රියාත්මක වෙයි. මෙයින් මීගමුව, කටුනායක හා කටුනායක නිදහස්‌ වෙළෙඳ කලාපයට මෙන්ම කටුනායක ගුවන් තොටුපොළට ජලය සපයන බම්බුකුලිය ජල පවිත්‍රාගාරය ප්‍රධාන තැනක්‌ ගනී. මහනුවර දිස්‌ත්‍රික්‌කයට අයත් මා ඔයේ අතු ගංගාවක්‌ වන ගල්ඔය හා රඹුක්‌කන් ඔය මඟින් ද කෑගලු දිස්‌ත්‍රික්‌කයට අයත් හිඟුල්ඔය, මඩ අමුණ හා පහළින් පිහිටි තුල්හිරිය ඔය යන අතු ගංගා මඟින් ද කුඹුරු හා ඒ ආශ්‍රිත වගාබිම් සඳහා ජලය ලබා දෙයි. මේ හැරුණු කොට දංකොටුව කර්මාන්ත පුරය, මාකඳුර කර්මාන්ත පුරය වැනි කර්මාන්ත රැසක්‌ සඳහා අවශ්‍ය ජල ධාරිතාව සපයන්නේ මා ඔය මඟිනි. කොච්චිකඩේ, හා දංකොටුව යන ප්‍රදේශවල පිහිටා ඇති උළු ගඩොල් කර්මාන්ත සඳහා අවශ්‍ය මැටි ලබා ගන්නේ යෝගියාන, මැටිකොටුව, වෙන්නප්පුව, බඩල්ගම යන ප්‍රදේශවලිනි. මේ ප්‍රදේශවලින් මැටි හාරාගත් පසු එම වළවල වැලි මතු වෙයි. වැලි ගොඩ දමන්නෝ මේ වැලි තට්‌ටුව ඉවත් කරති. ඉන්පසුව ගල් තලාව මතු වෙයි. මේ පරිසර දූෂිත ක්‍රියාවලියෙන් ප්‍රදේශයේ භූ ගත ජල මට්‌ටමේ අඩු වීමක්‌ සිදු වෙයි. මෙයින් උදා වන අහිතකර ප්‍රතිඵලය වන්නේ ප්‍රදේශවාසී ජනතාව ගේ ගෙවතුවල ඇති ළිංවල ජලය සිඳී ගොස්‌ පිරිසිදු පානීය ජලය මෙන්ම එදිනෙදා පරිහරණයට අවශ්‍ය ජල ධාරිතාවේ අඩු වීමක්‌ සිදු වීමයි. භූ ගත ජලයත් ළිංවල ජලයත් හිඟ වීම පොල් වගාවේ පරිහානියට ද හේතුවකි.

වැලි ගොඩ දැමීම

වැලි ගොඩ දැමීමත්, මැටි කැපීමත් මහා පරිමාණයෙන් සිදු වන අතර මා ඔය දෙපස වන ලැහැබ් ආශ්‍රිත ප්‍රදේශවල නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය ද සිදු කෙරෙයි. මැටි කැපීම මඟින් මා ඔය දෙපසින් ඔයේ හැඩය වෙනස්‌ වීමක්‌ සිදු වන අතර එම ප්‍රදේශවල ජලය පිරී යැම, මැලේරියා, ඩෙංගු වැනි මදුරු වසංගත පැතිරීමට ද එය හේතුවක්‌ වී ඇත. එසේ ම වැලි ගොඩ දැමීම හේතුවෙන් ගංගා ඉවුරු කඩා වැටීම නිතර සිදු වන අතර ගංගා පතුල ගැඹුරු වී ලවණ ජලය රට තුළට ගලා ඒම නිතර ම සිදු වෙයි. මෙය ද පානීය ජල දූෂණයටත් කුඹුරු හා ගෙවතු වගා කටයුතුවලටත් බලවත් හානියක්‌ ගෙන දේ.

මා ඔය දෙපස ඉදි කර ඇති නිවාස හා හෝටල්වලින් නිකුත් කරන වැසිකිළි කැසිකිළි මෙන්ම වෙනත් අපද්‍රව්‍ය මා ඔයට නිකුත් කිරීම නිතර ම සිදු කෙරෙයි. එබැවින් පාචන රෝග පැතිරී යැමේ අවදානම ද වරින් වර මේ ප්‍රදේශවලින් දක්‌නට ලැබෙයි.

වැලි ගොඩ දැමීමේ ඉතිහාසය කවර දා ඇරඹිණි දැයි යන්න පැහැදිලි නැති වුවත් නිවසක්‌ ඉදි කර ගැනීම සඳහා කරත්තයක්‌ ආධාරයෙන් කූඩ භාවිත කර වැලි ලබා ගැනීම එකල ගම්වැසියන් ගේ සිරිත විය. වැලි ගන්නා තැන් මංකඩ යනුවෙන් හැඳින්වුණු අතර ඒවා ගං ඉවුරු අසල පිහිටා තිබිණි. 70 දශකය පමණ විට විට ගොන් කරත්ත හා සැහැල්ලු වාහන භාවිතයෙන් වැලි ඇදීම සිදු කෙරිණි. 70 දශකයෙන් පසු වැලිමංකඩ ලියාපදිංචි කර වැලි ලබා ගැනීම සඳහා විශේෂ බලපත්‍රයක්‌ නිකුත් කෙරිණි. ඉන්පසු 80 දශකයේ දී ටෙන්ඩර් මඟින් අවසරය ලබා ගත් අයට පමණක්‌ වැලි ලබා ගැනීමට අවසර ලැබිණි. මේ අනුව මා ඔය ඉවුරේ ලියාපදිංචි වැලිමංකඩ ප්‍රමාණය වසර 1992 දී 6ක්‌ වූ අතර වසර 1996 වන විට එය 20 දක්‌වා වැඩි විය. මේ අතර එක්‌ වූ අනවසර වැලිමංකඩ සංඛ්‍යාව 30ක්‌ පමණ විය. ඉන්පසු ට්‍රැක්‌ටර් ගඟට බස්‌වා වැලි ගොඩ දැමීම සිදු කළ අතර ඉන්පසු ඉවුරේ සිට වැලි ගොඩ දැමීම සිදු කෙරිණි. අද වන විට ට්‍රැක්‌ටර් භාවිතයට අමතරව බැකෝ යන්ත්‍ර යොදා ගංගා පතුල හාරමින් වැලි ගොඩ දැමීම මහා පරිමාණයෙන් සිදු කෙරෙයි. ගඟට බැස්‌වූ බැකෝ යන්ත්‍ර මඟින් වැලි ගොඩ දැමීම සිදු කිරීම නිසා ගඟ පතුල ඉවුරේ සිට අඩි 40කට වඩා වැඩි ප්‍රමාණයකට ගැඹුරු වී ඇත. සාම්ප්‍රදායික ක්‍රමයට ගඟ මැදට ඔරුවක ගොස්‌ කිමිදී වැලි ගොඩ දැමීම ද අදටත් සිදු කෙරෙයි.

පසුගිය දා සීමාසහිත පරිසර පදනම විසින් සංවිධානය කරන ලද මා ඔය ආශ්‍රිතව පරිසර සංචාරයකට මේ ලියුම්කරුට සහභාගි වීමට හැකි විය. මෙදින ඕලන්ද ඇළෙන් ගමන ආරම්භ කළ අපි මා ඔය මුහුදට වැටෙන වයික්‌කාල මෝය අසලට ගොස්‌ එතැනින් නැවත මා ඔය දිගේ බම්බුකුලිය දක්‌වා යන ගමන ආරම්භ කළෙමු. මෝටර් බෝට්‌ටුවක ආධාරයෙන් කළ මේ ගමනේ දී මා ඔය දෙපස සිදු ව ඇති හා සිදු කෙරෙන දූෂිත ක්‍රියා සියල්ල ම අපට දැක ගැනීමට හැකි විය.

බම්බුකුලියට ආසන්නව මා ඔය ඉවුරට මීටර් කීපයක්‌ පිටතින් ඉදි කර තිබෙන සක්‍රිය කාබන් නිපදවීමේ කර්මාන්තශාලාවෙන් පිට වන අපද්‍රව්‍ය මා ඔයට පිට කරන අන්දම නිරීක්‍ෂණය කිරීමට හැකි විය. මා ඔය දෙපස බොහෝ තැන්වල ඉදි කර තිබෙන නිවාස බොහොමයක්‌ නීති විරෝධී ව ඉදි කර ඇති බැව් පැහැදිලි විය. නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදන කරන තැන් රැසක්‌ දැකගන්නට ලැබිණි. එසේ ම මා ඔය ඉවුරු අයිනේ වැලි ගොඩ දමන තැන් කීපයක්‌ දැක ගත හැකි වූ අතර එම තැන්වල මිනිසුන් දැක ගැනීමට නොහැකි වූයේ අප ගේ පැමිණීම ගැන සැක සිතා ඔවුන් අප ගෙන් වසන් වීම නිසාවෙනි. තැන් කීපයක කඩොලාන කපා ඉවත් කර සංචාරක නවාතැන් ඉදි කිරීමට ගත් උත්සාහයක්‌ දක්‌නට ලැබිණි. ඉවුරු කඩා වැටුණු තැන් බොහොමයක්‌ ද නිවාස අසලට ම ඛාදනය වූ තැන් රැසක්‌ ද දැක ගැනීමට හැකි විය. කෙමෙන් කෙමෙන් මා ඔයේ බම්බුකලිය ප්‍රදේශයේ ගඟ හරහා ඉදි කරන ලවණ බාධකය (Salinity Barrier) වෙතට පැමිණි අපි ලවණ බාධකයට මීටර් 100ක පමණ මෙපිටින් කහ පැහැති පුවරුවක කළු පැහැති අකුරින් සඳහන් කර තිබුණු අධිකරණ නියෝගය කියවූයෙමු. අධිකරණ නියෝගයට අනුව එහි සඳහන් කර තිබුණේ ලවණ බාධකයට මීටර් 500ක්‌ මෙපිටින් මැටි කැණීමක්‌ හා වැලි කැණීමක්‌ නො කළ යුතු ය යන්න ය. අවාසනාවක මහත. අධිකරණ තීන්දුවට නිගා දෙමින් අධිකරණ තීන්දුව සහිත පුවරුව පසුබිමේ තබාගෙන ට්‍රැක්‌ටර් හා බැකෝ යන්ත්‍ර ආධාරයෙන් මෙන්ම සාම්ප්‍රදායික ක්‍රමයට ගඟේ කිමිදෙමින් වැලි ගොඩ දමන්නන් තැනින් තැන සිය කාර්යය නිදහසේ කරගෙන යන අන්දම අපි දුටුවෙමු. සැකෙවින් පවසන්නේ නම් මා ඔයේ බම්බුකුලිය යනු අනවසරයෙන් සහ අවසර ඇති ව වැලි ගොඩ දමන්නන් ගේ පාරාදීසයකි. අවසර ඇති ව හෝ නොමැති ව හෝ සිදු කළ ද මෙය අනාගත මහා පරිසර විනාශයකට අත වනන්නකි.

ලවණ බාධකය අසල ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ ජල පවිත්‍රාගාරයකි. මෙය කටුනායක වෙළෙඳ කලාපය, ගුවන් තොටුපොළ හා මීගමුව වැනි ජනාකීර්ණ ප්‍රදේශ රැසකට මහා ජල ධාරිතාවක්‌ සපයන ජල පවිත්‍රාගාරයකි. ජලය ලබා ගන්නේ මාඔයේ ලවණ බාධකයට ඉහළින් පිහිටි ප්‍රදේශයෙනි. ලවණ බාධකයට පහළින් ප්‍රදේශයේ ජලය පිරිසිදු නැත. එසේ ම වැලි ගොඩ දැමීම හේතුවෙන් මුහුදු මට්‌ටමට වඩා ගංගා පතුල ගැඹුරු වීම නිසා ලවණ සහිත මුහුදු ජලය වයික්‌කාලේ සිට බම්බුකුලිය දක්‌වා ගලා එයි. වඩදිය කාල සීමාවේ දී මේ ක්‍රියාවලිය වඩාත් වේගවත් වෙයි. කෙසේ වෙතත් මේ හේතුවෙන් වයික්‌කාල ප්‍රදේශයේ සිට බම්බුකුලිය දක්‌වා වු සරුසාර ගෙවතු සහිත ගම් රැසකට පිරිසිදු මිරිදිය සහිත ළිඳකින් ජලය ලැබීමේ වාසනාව අහිමි වී ඇත. සමහර ගෙවතුවල තිබෙන ළිං සිඳී ගොස්‌ ඇති අතර සමහර ළිංවල ලවණ ස්‌වභාවය වැඩි වී ඇත.

වැලි ගොඩ දමන්නන් යනු මේ ප්‍රදේශවල ජීවත් වන දිළිඳු අහිංසක ගැමියන් බව කිව යුතු ය. ඔවුන් පාරම්පරිකව රැකුණේ වැලි ගොඩ දැමීමෙනි. වසර 20කට වඩා වැඩි කාලයක්‌ තිස්‌සේ වැලි ගොඩ දමන වැඩිහිටි මිනිසුන් අතර තරුණ පිරිස්‌ ද සිටින බැව් දැක ගැනීමට හැකි විය. මොවුහු ශරීර සෞඛ්‍යයෙන් පිරිහුණු පුද්ගලයෝ ය. දිනකට සිය වතාවකට වඩා ජලයේ කිමිදීම හේතුවෙන් ඔවුන් ගේ කන් අඩි සිඳී ගොස්‌ ය. චර්ම රෝග ද ඔවුන් අතර බහුල ය. මෙසේ දහ දුක්‌ විඳ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් වැලි ගොඩ දමන්නේ ඔවුන් ගේ අඹුදරුවන් රැකීමට ය. එහෙත් මෙසේ දහ දුක්‌ විඳ දියේ කිමිදුණ ද ඔවුනට ලැබෙන්නේ මහන්සියට ද ප්‍රමාණවත් නො වන මුදලකි. හේතුව වැලි ජාවාරම ප්‍රදේශයේ දේශපාලනඥයන් අතර හා දේශපාලන හිතවතුන් අත පැවතීමයි. එබැවින් ගැමියන්ට කිමිදී වැලි ගොඩ දමනවා හැර වෙනත් විකල්පයක්‌ නැත. විකල්පයක්‌ ඇතත් ජාවාරම්කරුවන් එය ඔවුන්ට හඳුන්වා දීමට කැමැත්තක්‌ නො දක්‌වන්නේ එමඟින් ඔවුන් ගේ වැලි ජාවාරමට කණ කොකා හඬන බැවිනි.

මෙය මෙසේ තවදුරටත් පැවතීමට ඉඩ දිය යුතු නැත. මේ දිළිඳු පවුල් සඳහා විකල්ප ආදායම් මාර්ග හඳුන්වා දීම අත්‍යවශ්‍ය ය. මේ බව තේරුම් ගත් සීමාසහිත පාරිසරික පදනම ප්‍රදේශයේ වැලි ගොඩ දමන දිළිඳු ජනතාවට විකල්ප රැකියා හඳුන්වා දී ඒ පිළිබඳ පුහුණුවක්‌ ලබා දී ඇත. එබැවින් අද වන විට පවුල් කීපයක්‌ වැලි ගොඩ දැමීමේ රැකියාවෙන් ඉවත් වී සපත්තු සෙරෙප්පු සෑදීම, යෝගට්‌ නිපදවීම, මල් වගාව වැනි විකල්ප රැකියා සඳහා යොමු වී ඇති අන්දම අපට නිරීක්‍ෂණය කිරීමට හැකි විය. එම පවුල්වල පිරිමින් රියෑදුරු වැනි රැකියාවක නියෑළෙන අතර ස්‌ත්‍රීන් ඉහත කී කර්මාන්තවල නියෑළෙති. ගෙදර ආදායම සරු ය. දරුවෝ අධ්‍යාපනය යහපත් අන්දමින් කරගෙන යති. එහෙත් මේ සුළුතරයකි. බහුතරයක්‌ තවමත් වැලි ගොඩ දැමීමේ යෙදී සිටිති. ඔවුන් කලින් කී ආකාරයේ බලවත් ජාවාරම්කරුවන් ගේ අතකොලු වී අවසන් ය. ඔවුන්ට ඉන් අත්මිදීමක්‌ නැත. ගැටලුව ඇත්තේ එතැන ය. එම බහුතරය ද මේ පරිසර දූෂිත

රැකියාවෙන් ඉවත් කර ගැනීමට හැකි වුවොත් එදිනට මා ඔය අවට පරිසරයත් ඔවුන් ගේ ජීවිතයක්‌ මැනැවින් ආරක්‍ෂා වනු ඇත.

මුහුදු ඛාදනය

ගංගාවකින් මහා සයුරට දිය දහරා ගලා යන්නේ සොබා දහමට අනුව නිමැවුණු පරිසර සංවේදී ක්‍රියාවලියකට අනුව ය. මෙය මෙසේ සිදු වන තාක්‌ අදාළ පරිසරයේ සමතුලිතතාව ආරක්‌ෂා වන අතර එය බිඳුණු විට පරිසර විනාශයක්‌ හටගනී. මා ඔයට හා මා ඔය මුහුදට වැටෙන වයික්‌කාල, මාරවිල, නයිනමඩුව සිට හලාවත දක්‌වා වෙරළ තීරවල සිදු වෙමින් පවතින ඛාදනයට හේතුව මා ඔය ආශ්‍රිත ප්‍රදේශවල සිදු කෙරෙන වැලි ගොඩ දැමීම යෑයි කිව හොත් නිවැරැදි ය. එහෙත් ගඟෙන් වැලි ගොඩ දැමීම මුහුදු ඛාදනයට හේතුවක්‌ යෑයි කීවොත් එය බහුතරයක ගේ පිළිගැනීමට ලක්‌ නො වනු ඇත. හේතුව එම යාන්ත්‍රණය පිළිබඳව මෙරට බහුතර ජනතාවකට අවබෝධයක්‌ නොමැති බැවිනි. පසුගිය දින මා ඔය ආශ්‍රිතව කළ සංචාරයෙන් අනතුරුව වයික්‌කාල, නාත්තන්ඩිය වැනි වෙරළ තීර ඛාදනයට ලක්‌ වී ඇති අන්දම නිරීක්‍ෂණය කිරීමට අපට හැකි විය.

මේ සංචාරයට එක්‌ වූ නාවල විවෘත විශ්වවිද්‍යාලයයේ ඉංජිනේරු අධ්‍යයනංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නලින් වික්‍රමනායක මුහුදු ඛාදනය පිළිබඳව අදහස්‌ දැක්‌වුයේ මේ අයුරිනි.

මේ ප්‍රදේශයේ මුහුදු ඛාදනය නියත වශයෙන් ම සිදු වන්නේ මා ඔයෙන් වැලි ගොඩ දැමීම සිදු වන නිසයි. අතීතයේ මේ ප්‍රදේශයේ තිබුණු දර්ශනීය වෙරළ අඩවිය නිරීක්‍ෂණය කළොත් අපිට අදින් වසර 10කට පෙර තිබුණු වෙරළත් අද දක්‌නට ලැබෙන වෙරළත් අතර පැහැදිලි වෙනස නිරීක්‍ෂණය කරන්න පුළුවන්. මා ඔය ඛාදනය ආරම්භ වන්නේ 1989 සිටයි. මේ වන විට මුහුදු ඛාදනය උතුරු දෙසට පැතිරී ගොස්‌ තිබෙනවා. අපි මුහුදු ඛාදනය සිදු වන්නේ කොහොම ද කියල බලමු. අපි නිතර ම දකින දෙයක්‌ තමයි මුහුදේ රළ ඇවිත් වෙරළට වේගයෙන් වැදෙන ආකාරය. මේ රළ ඇවිත් වදින්නේ නැත්නම් වෙරළට ගැටෙන්නේ ලම්බකව නො වෙයි. කිසියම් කෝණයකට අනුවයි. මෙසේ රළ වෙරළේ වදින කොට රළ තුළ අඩංගු ශක්‌තියෙන් වැලි ටික ටික කැඩී යනවා. කලක්‌ ගත වන විට වැලි එක ස්‌ථානයකින් කැඩි ගොස්‌ වෙනත් තැනක තැන්පත් වීමක්‌ සිදු වෙනවා. මේ ආකාරයට දිය රළ ශක්‌තියෙන් වෙරළේ දකුණු පෙදෙසේ තිබෙන වැලි උතුරු පෙදෙසට ගසා යැමක්‌ සිදු වෙනවා. මේක ඒකීයව සිදුවෙන දෙයක්‌. සාගර රැළිවලින් සිදු වන්නේ වෙරළේ වැලි ටිකෙන් ටික ඉවත් කර උතුරු ප්‍රදේශයට ගෙන යැමයි. කාලයක්‌ යන විට වෙරළේ වැලි ක්‍ෂය වීම නිසා පුළුල් වෙරළ තීරයක්‌ පටු වෙරළ තීරයක්‌ බවට පත් වෙනවා. මුහුදු ඛාදනය කියල හඳුන්වන්නේ මෙන්න මේ ක්‍රියාවලියයි.

වෙරළට වැලි සැපයීමත් වෙරළින් වැලි ගෙන යැමත් සමතුලිත වන අවස්‌ථාවේ දී වෙරළේ ඛාදනයක්‌ සිදු වන්නේ නෑ. සමතුලිත, දර්ශනීය වෙරළක්‌ තමයි දක්‌නට ලැබෙන්නේ. මා ඔයෙන් වැලි ගොඩ දමන නිසා මා ඔයේ මෝය කටින් වෙරළට වැලි එන්නේ නෑ. ඒ නිසයි හලාවත දක්‌වා මුහුදු ඛාදනයක්‌ දක්‌නට ලැබෙන්නේ. හලාවතින් දැදුරු ඔය මුහුදට ගලා බසින නිසා එතැනින් එහාට මුහුදු වෙරළ ආරක්‍ෂා වෙනවා. මේ තත්ත්වය පාලනය කළ යුතුයි. ඒ නිසයි වෙරළ සංරක්‍ෂණය කිරීමේ කටයුතු ආරම්භ කළේ.

මේක සංරක්‍ෂණය කිරීම ක්‍රම දෙකකට පුළුවන්. ඉන් එක ක්‍රමයක්‌ තමයි ඈත මුහුදෙන් වෙරළට සම්බන්ධයක්‌ නැති වැලි නිධියක්‌ සොයල ෙඩ්‍රජර් ආධාරයෙන් වෙරළට වැලි පොම්ප කිරීම. අනෙක්‌ ක්‍රමය තමයි මේ වගේ ගල් වැටි බැඳීම. ගල් වැටි බැඳීමෙන් වෙරළ ඛාදනය වීම වළකිනවා පමණයි. වෙරළ පෝෂණයක්‌ වෙන්නේ නෑ. කළ යුත්තේ මුහුදේ නිධියකින් වෙරළට වැලි පොම්ප කිරීමයි. මේක ඉතා ම වියදම් යන වැඩක්‌. මේ සඳහා අවශ්‍ය ෙඩ්‍රජර් යන්ත්‍ර සිංගප්පූරුවෙන් හෝ හොංකොංවලින් ගෙන්වන්න වෙනවා. අධික මුදලක්‌ වැය වෙනවා. අධික මුදලක්‌ වැය කර ෙඩ්‍රජර් යන්ත්‍ර ගෙන්වුවත් එයින් දිගු කලක්‌ උපරිම ප්‍රයෝජන ගැනීම අත්‍යවශ්‍යයි.

මේ වගේ ම වසර 2000 සිට 2005 දක්‌වා කාලය තුළ නයිනමඩමේ වෙරළ ගොඩ කිරීමේ ව්‍යාපෘතියක්‌ සිදු කළා. ඉතා සාර්ථකව සිදු කළා. දැන් මුහුදු ඛාදනය අවම වෙලා. අපිට මුහුදු වෙරළ තීරය සංරක්‍ෂණය කිරීම අත්‍යවශ්‍යයි. මොකද මුහුදුබඩ වෙසෙන ජනතාව ගේ ආර්ථික සංවර්ධනය වෙරළ තීරය ආශ්‍රිතව සිදු වන නිසා.

මුහුදු ඛාදනය වළක්‌වන්න අපහසු දෙයක්‌ නො වෙයි. කළ යුත්තේ එක ම දෙයයි. ගංගාවලින් ප්‍රමාණය ඉක්‌මවා වැලි ගැනීම නැවැත්වීමයි. ගංගා මෝයකින් වැලි ගැනීම හෝ ගංගාවක්‌ තුළ වැලි ගැනීම සීමා සහිතව සිදු කෙරෙනව නම් මුහුදු කෑම මේ ආකාරයට සිදු වන්නේ නෑ. ගංගාවක්‌ තුළින් වැලි ගැනීම ගංගා මෝයට ගලා එන වැලි ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වීමට හේතුවක්‌.

කෙසේ වෙතත් මා ඔය ආශ්‍රිතව වැලි හා මැටි කැණීම නිසා සිදු වන පරිසර පද්ධතිය විනාශය වැළැක්‌වීම සඳහා 2009 අංක 66 දරන පනතින් සංශෝධිත 1992 අංක 33 දරන පතල් සහ ඛණිජ ද්‍රව්‍ය පනත හඳුන්වා දුන් අතර එමඟින් වැලි කැණීම විධිමත් කිරීම සඳහා දැඩි නීතිරීති පවා සකස්‌ කර ඇත. ශ්‍රෝෂ්ඨාධිකරණය විසින් කරනු ලැබූ නියෝග අනුව වසර 2006 සිට ගංගාවල යාන්ත්‍රික වැලි කැණීම් සපුරා තහනම් කර ඇත්තේ 2006 ජුලි 17 දින අංක 1454/4 දරන රෙගුලාසිය මගිනි. මේ නීති ප්‍රකාරව වැලි කැණීම, ගවේෂණය කිරීම, ප්‍රවාහනය කිරීම හා ගබඩා කිරීම සඳහා වලංගු බලපත්‍ර නිකුත් කිරීම භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යංශය සතු ය.

කිසියම් විශේෂිත කලාපයකට හෝ ස්‌ථානයකට නිශ්චිත කාල සීමාවකට වැලි කැණීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමක්‌ භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යංශය මඟින් සිදු කෙරෙන අතර එම බලපත්‍රය පැවරීම හෝ එම බලපත්‍රයෙන් වෙනත් ස්‌ථානයක වැලි කැණීම හෝ කළ නොහැකි ය. මේ වන විටත් භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යංශය විසින් මා ඔය ආශ්‍රිතව වැලි කැණීම් කටයුතු කිරීම සඳහා තහනම් කලාප කිහිපයක්‌ නම් කර ඇත. කටාන, ජම්බුගස්‌වත්ත ප්‍රදේශය, මේ ප්‍රදේශයේ එනම් ජම්බුගස්‌වත්තේ සිට ගඟ දිගේ දෙපසට මීටර් 100ක සීමාව, බම්බුකුලිය ජල පොම්පාගාරය හා පවිත්‍රාගාරය ආශ්‍රිත මීටර් 500ක ප්‍රදේශය, කොච්චිකඩේ පාලමේ සිට දෙපසට එනම් මුහුද දෙසට හා ගඟ ඉහළට කිලෝමීටර් 2ක්‌ වූ ප්‍රදේශය සහ වෙරළ සංරක්‍ෂණ පනත යටතේ මා ඔය මෝයේ සිට කිලෝමීටර් 2ක්‌ ගඟ දිගේ ඉහළ ප්‍රදේශය දක්‌වා වූ පරිසර පද්ධති තහනම් කලාපවලට අයත් වෙයි. මෙසේ නීතියට අනුව තහනම් කලාප ප්‍රකාශයට පත් කර තිබිය දීත් අවසර ලත් වැලි කැණීම් මෙන්ම අනවසර වැලි කැණීම් ද සිදු කරන බව අප කළ සංචාරයේ දී සැබැවින් ම දැක ගැනීමට හැකි විය. අවසර ඇති ව වැලි කැණීමක්‌ සිදු කළත් සිදු වන පරිසර විනාශයේ වෙනසක්‌ නැත. සිදු වන එක ම දේ ජාවාරම්කරුවන් පොහොසත් වී පරිසරයේ විනාශයත් සමග දුප්පත් කම්කරුවන් ගේ ජීවිත විනාශ වීම ය. එසේ නම් කළ යුත්තේ සීමාසහිත ප්‍රමාණයකට වැලි කැණීමට අවසර දීම නො ව වැලි කැණීම සඳහා කිසිදු බලපත්‍රයක්‌ නො දී තහනම් කිරීම ය.

අප කළ සංචාරයේ දී වැලි කැණීම නිසා ගඟ දෙපස ජීවත් වන වැලි කණින දිළිඳු කම්කරුවන් ගේ ඉඩම් මෙන්ම වැලි කැණීමේ නිරත නො වන වෙනත් පුද්ගලයන් ගේ ඉඩම් පවා ඉවුරු ඛාදනයට ලක්‌ වී ඇති බැව් දැකගන්නට ලැබිණි. අධික ලෙස වැලි ගොඩ දැමීම නිසා මා ඔයටත් මා ඔය ආශ්‍රිත ප්‍රදේශයටත් සිදු වී ඇති හානිය මෙසේ සැකවින් දැකගත හැකි ය. ගං ඉවුරු ඛාදනය, වෙරළ ඛාදනය, ගංගා ජලයට හා භූගත ජලයට ලවණ ජලය එක්‌ වීම, භූගත ජල මට්‌ටම පහළ බැසීම, දුරකථන මාර්ග විදුලි

රැහැන් මාර්ග බිඳ වැටීම, ගංගා පතුලේ ගැඹුර වැඩි වීම සහ පරිසරයේ සුන්දරත්වය අහිමි වීම වැනි හේතු මෙසේ සැකෙවින් දැක්‌විය හැකි ය.

වෙරළ ඛාදනයේ අහිතකර බලපෑම් පිළිබඳව විමසීමේ දී බටහිර මුහුදු තීරයේ ලන්සිගම වෙල්ලක්‌කර සහ මාරවිල යන ස්‌ථානවල සිදු වන වෙරළ ඛාදනයට ප්‍රධාන හේතුව මා ඔයෙන් වැලි ගොඩ දැමීම ය. වසර 12ක පමණ කාලයක්‌ ඇතුළත වෙන්නප්පුව, හා නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ටාශවල පමණක්‌ පවුල් 600ක්‌ පමණ අවතැන් වී ඇත. ඛාදනයේ ශීඝ්‍රතාව දළ වශයෙන් වසරකට මීටර් 8ත් 10ත් අතර ප්‍රමාණයක්‌ වෙයි.

නීති විරෝධී මත්පැන්

මා ඔය දෙපස සිදු කෙරෙන අනවසර නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය එනම් කසිප්පු පෙරීම මහා පරිමානයෙන් සිදු වීම පරිසයත් මා ඔයේ ජලයත් දූෂණය වීමට හේතුවකි. අප මා ඔයේ කළ සංචාරයේ දී අතහැර දමා ඇති යෑයි සිතිය හැකි මත්පැන් නිපදවන තැන් කීපයක්‌ නිරීක්‍ෂණය කිරීමට හැකි විණි. මත්ද්‍රව්‍ය තිප්පලවල් වැටලීමට පොලිසිය පැමිණෙන විට මත්පැන් නිපදවන්නන් මත්පැන් බැරල් සමග තිබෙන ගෝඩා හා කාඩි බැරල් පිටින් ම ගංගා ජලයට දැමීම නිතර ම සිදු වෙයි. මෙයින් සිදු වන පරිසර දූෂණය සුළු පටු නැත. මේ සම්බන්ධව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ පර්යේෂණාගාර සේවා අංශ ප්‍රධානී එස්‌. ටී. ෙµdන්සේකා මහතා ගෙන් කළ විමසීමක දී ඒ මහතා අදහස්‌ දැක්‌වූයේ මේ අයුරිනි.

නීතියේ රැහැනට හසු වන නිසා මත්පැන් නිපදවන්නන් ගෝඩා බැරල් හා කාඩි බැරල් ගඟට පෙරළා දැමීම සාමාන්‍යයෙන් සිදු වන දෙයක්‌. මේ ගෝඩා හා කාඩි ගංගා ජලයට එකතු වීමෙන් ගංගා ජලය දූෂණය වී ජලයේ ඔක්‌සිජන් සාන්ද්‍රතාව අඩු වනවා. එනම් ජලයේ ඊසදජයෑපසජ්ක ධංහටැබ Deප්බා (ඊධෘ) අගය ඉහළ යැමට හේතු වනවා. සාමාන්‍යයෙන් ගෝඩා බැරලයක්‌ හෝ කාඩි බැරලයක්‌ ජලයට මුසු වීමෙන් ජලයේ ඊධෘ අගය ලක්‌ෂ ගානකින් ඉහළ යනවා. මේ වගේ බැරල් 1000ක්‌ විතර වරකට හෝ වරින් වර හෝ ජලයට එකතු වීමෙන් ජලයේ ඊධෘ අගය අසීමිත ලෙස ඉහළ යනවා. මේ ආකාරයට ජලය දූෂණය වීම ජලයේ ඔක්‌සිජන් ප්‍රතිශතය පහළ බැසීමට හේතුවක්‌. ජලයේ ඔක්‌සිජන් ප්‍රතිශය පහළ බැසීම ජලජ ජීවීන් ගේ විනාශ වීමට හේතුවක්‌. ඒ කියන්නේ පියවි ඇසට නො පෙනෙන ක්‍ෂද්‍ර ජීවීන් ගේ සිට පියවි ඇසට පෙනෙන මත්ස්‍යයන් පවා විනාශ වී යනවා. ඒ කියන්නේ ජලයේ ජෛවවිවිධත්වය විනාශ වෙනවා. ඒ වගේ ම බම්බුකලියේ ජල පවිත්‍රාගාරයට මතු දිනක වැලි ගොඩ දැමීම විශාල හානියක්‌ කරන්න පුළුවන්. මේ පවිත්‍රාගාරයේ තිබෙන ජල ටැංකියට ලීටර් 20000කට වැඩි ජල ධාරිතාවක්‌ දැරිය හැකියි. මේ ජල පවිත්‍රාගාරයෙන් කටුනායක නිදහස්‌ වෙළෙඳ කලාපය, මීගමුව ප්‍රදේශය, කටුනායක ගුවන් හමුදා කලාපය, කටුනායක ගුවන් තොටුපළ වැනි ආයතන රාශියකට මෙන්ම ප්‍රදේශවාසී ජනතාවට පානීය හා වෙනත් අවශ්‍යතා සඳහා ජලය ලබා දෙනවා. අධිකරණ නියෝගයෙන් සීමා පනවා තිබුණත් වැලි කැණීම් නිසා ඇති වන බලපෑම් සීමා ඉක්‌මවා යන්න පුළුවන්. යමි විදියකින් ජල පවිත්‍රාගාරය අසල වැලි හා මැටි කැණීම් නිසා භූමියේ පීඩනයේ වෙනසක්‌ ඇති වුව හොත් ජල පවිත්‍රාගාරයේ ටැංකියේ පීඩනයට කිසියම් බලපෑමක්‌ ඇති විය හැකියි. එවිට සිදු වන විනාශය තක්‌සේරු කළ නොහැකියි.

සුන්දර පරිසර පද්ධති ගණනාවක්‌ ආවරණය කර වටිනා ජෛවවිවිධත්වයක්‌ ආරක්‌ෂා කරන මා ඔය කර්මාන්තකරුවන් අනවසර හා අවසර ලත් වැලි කැණීම්, උළු ගඩොල් කර්මාන්තකරුවන් ගේ මැටි කැණීම්, නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදන සහ හෝටල්කරුවන් නිසා කියා නිම කළ නොහැකි දූෂණයකට ලක්‌ වී ඇත. මෙය මෙසේම තව දුරටත් පැවතීම අනාගතයේ යම් දිනක ප්‍රදේශයේ ජනතාවට අසීරුතා රැසකට මුහුණ දීමටත් වටිනා සුන්දර වෙරළ තීරයක විනාශයටත් හේතුවක්‌ වනු ඇත. මේ තත්ත්වය පිටු දැකීමට සීමාසහිත පරිසර පදනම ගන්නා උත්සාහය සාර්ථක වීමට නම් මහජන සභ රාජ්‍ය සහයෝගය ද ඊට අත්‍යවශ්‍ය ය.

අද සතියේ විමසුම
අමල් උඩවත්ත
ඡායාරූප සීමාසහිත පරිසර පදනම

No comments:

Post a Comment