දුම්බර වනපෙතේ සිසිල් මිහිදුම් පටල අතර සිට..
එමෙන්ම ජීවිතය හරි අපූරු දේ අපට උගන්වයි. අපූරු මිනිසුන් අපට මුණගස්‌වයි. මෙඅයුරින් අප දැන කියාගන්නා මිනිසුන්ගේ හදවත් තුළ පිටාර ගලනා මිනිසත්භාවයේ නෑඹුල් සුවඳ පොදට වශී කෘතවන අපි, උන්ගේ සමාගමය දිනෙන් දිනම ප්‍රිය කරන්නෙමු. උන්ගේ ඇසුර සොම්නසින් අත් විඳින්නෙමු. මේ අපේ මිතුරාය. අර අපේ සහෘදයාය. මෙලෙස අප දැනකියාගත් මිතුරු තොමෝ අතුරෙන්, ගහකොළට, මලට වැළට සතා සීපාවාට පවා ආදරය කරන සුන්දර මිනිසුන්ගේ සමාගමයක් වී නම් ඒ කෙබඳු වාසනාවක්‌ද?
උන් අපේ දුම්බර මිතුරෝය. පුරා වසර දහඅටකට අධික කාලයක් මාතලේ සහ මහනුවර දිස්‌ත්‍රික්‌කවල පැතිර පවතින නකල්ස් හෙවත් දුම්බර පංතිය ඇසුරුකොට මේ විශ්මිත දිවයිනේ අසිරිමත් ජෛව විවිධත්වය මුළු ලොවටම කියන සත්ත්ව හා ශාක විශේෂ 65 ක අයිතිය තමන් සතුකරගත් මේ දුම්බර මිටියාවත අප්‍රමාණ ලෙස ආදරය කරන සුන්දර මිනිසුන්ගේ හමුවීම වනාහී මට මගේ ජීවිතයේ තවත් එක් හැරවුම් ලක්‍ෂයක්‌ම වන්නේය. ලෝකය පුරා පැතිර ඇති ගිරිශිඛර, ජල දුර්ග, මහා වනාන්තර අතරේ සංචාරයේ යෙදෙන මහත්වූ අත්දැකීම් සම්භාරයක් ඇති සංචාරක මඟ පෙන්වන්නෙකු සංචාරක කළමනාකරුවකු වූ දේශ ගවේශකයකු මෙන්ම වනජීවී ඡායාරූප ශිල්පියකුද වන දැන් ජර්මනියේ වෙසෙන එහෙත් ශ්‍රී ලාංකිකයකු වන අයිවෝ වැන්කියුලන් බර්ග් අපගේ දයාබරයා නොවන්නට, දුම්බර මිතුරෝ සහ මාගේ සමාගමයද මෙතරම් දුරකට නොයනු ඇතැයි විටෙක මට සිතේ.
පසුගිය 12 දා හිමිදිරි උදයේම අයිවෝ වැන්කියුලන්බර්ග් සහ ඔහුගේ සොයුරු බ්‍රයන් වැන් කියුලන් බර්ග්ද ප්‍රධාන කොට අපගේ නඩය කොළඹින් පිටත්වූයේ එදින පෙ.ව. 11.30 ට පෙර දුම්බර මිටියාවතේ පිහිටි ඇටන්වල ග්‍රාමයට ළඟාවීමේ අපේක්‍ෂාවෙනි.
අපේ නඩය රස පූර්ණ මිනිසුන්ගෙන් පිරුණු එකක් විය. ඉරිදා දිවයිනේ චන්ද්‍රසිරි දොඩන්ගොඩ, සම්මානනීය ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂක ලලිත් රත්නායක, ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයේ නිෂ්පාදන අමල් සමන්ත ඇතුලු රූපවාහිනී නිෂ්පාදන කණ්‌ඩායමක් කැලණිය ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ සභාපති කීර්ති අමරසේකර නම් පරිසර හිතකාමියා සහ ඔහුගේ දයාබරයන් වන සුනිල් ජයසූරිය , චිත්‍ර ශිල්පී කිත්සිරි විදානගේ සහ නිර්මාණශීලි දැන්වීම් කලාවේ ප්‍රවීණයකු වූ ජෙරාඩ් ඇන්ඩි්‍ර මෙන්ම ශ්‍රී.ල.ගු.වි. සංස්‌ථාවේ කඳුරට සේවයේ ජ්‍යෙෂ්ඨ සංවිධායක, ජනමාධ්‍යවේදී ප්‍රේමලාල් විෙ-සිංහද පිරිසට අයත් වූහ. අපගේ පිරිසට මඟ පෙන්වූයේ දුම්බර මිතුරු සමාගමේ නිර්මාතෘ හා ප්‍රවීණ පරිසරවේදී නිමල් ආනන්ද මහතාය.
මාතලේ නගරයෙන් රත්තොටට පැමිණ එතැනින් රිවස්‌ටන් පසුකරමින් පිටවල හදිංයට පැමිණ සුප්‍රසිද්ධ පිටවල පතන සමීපයේ පිහිටි ඇටන්වල ගම්මානයට ඒමට කි.මී. 35 ක දුරක අපට යායුතු විය. මේ එන ගමන අතිශය සුන්දර වටපිටාවකින් සමන්විත වූවකි. දුම්බර කඳුමුදුනේ දැවටුණු මිහිදුම් සේලය අතරින් ඇඟහිරිගඩු පිපෙන සීතලේ ගැහෙමින් අප ආ ගමන සැබැවින්ම ආශ්වාදජනක වූවකි.
රිවස්‌ටර්න් කඳුමුදුනට පෙනෙන පිටවල පතනත් ඇටන්වල වෙල්යාය සහ පැරණි ගම්මානයත් නෙතට රසඳුනකි. තවත් නොබෝ වේලාවලින් අප සිටිය යුත්තේද මෙම ඇටන්වල ගම්මානයේය.ජර්මනියේ පුල්ඩා නගරයේ සිට තමා උපන් ශ්‍රී ලංකාවට පැමිණි ණසබාeර Heකචැර Sරස ඛ්බන් ඛඪ ආයතනයේ අධ්‍යක්‍ෂ අයිවෝ වැන්කියුලන්බර්ග් සොයුරා ඔහුට අයත් නවීකරණය කළ ශාලාවක් ස්‌වේච්ඡා පරිසර ක්‍රියාකාරීන් සේ දුම්බර වනපෙතේ සංරක්‍ෂණයට දායකවන "දුම්බර මිතුරු" තරුණ කැලට කාර්යාලයක් ලෙස පවත්වාගෙන යැම සඳහා ලබාදුන් අතර එය ඔහුගේ අතින් විවෘත කිරීමද ඇටන්වලදී සිදුකෙරිණි. ඇටන්වල විහාරයේ විහාරාධිපති හිමිපාණන්ගේ සෙත් පිරිත් සඡ්ජායනා මධ්‍යයේ ඇටන්වල ගම්වාසීන්ගේ උණුසුම් අත්පොලසන් නාදය මැද මෙදින අයිවෝ සහ බ්‍රයන් සොයුන් අතින් මෙදින මෙම දේශන ශාලාව විවෘත විය.පසුවදා එනම් දෙසැ 13 දා නිමල්,ප්‍රදීප්,නෙවිල් ප්‍රමුඛ දුම්බර මිතුරු සමාගම අප උදෙසා අපූරු සංචාරයක් සූදානම් කර තිබිණි.
වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉලුක්‌කුඹුර තෙල්ගමුව වන නිවහනේ සිට පසුදා උදයේම අප පිටත්වූයේ ඇටන්වල ගම්මානයේ සිට ලංකාවේ කුඩාම ගම්මානය ලෙස හැඳින්වෙන වල්පොල මුල්ල නම් අතිශය සුන්දර ගම්මානයට යැමටය.දුම්බර කඳු වලල්ල මගින් එහෙම පිටින්ම වසාගත් මේ ගම්මානයේ දැනට ඉතිරිව ඇත්තේ නිවාස දෙකක් පමණි. එහෙත් වන අලි තර්ජන නිසා එම නිවාසද අතහැර ඒවායේ විසුවන් ඇටන්වල, පිටවල, මැදඇල ප්‍රදේශවලට සංක්‍රමණය වී දිවි ගෙවති.
රූපාවාහිනියේ අමල් සමන්ත ඇතුලු නිෂ්පාදක කැළ මේ සංචාරයේ උපරිම වාසිය අත්පත් කර ගනිමින් මතු දිනෙක ජාතික රූපවාහිනිය ඔස්‌සේ අපගේ ආදරණීය මාතෘ භූමියේ ආශ්චර්යය කියාපාන කතා මාලාවක් නිපදවීමට තරම්වූ ස්‌වභාවික දර්ශන තලයන් කැමරාවට හසුකරගනිමින් සිටියේ විටෙක කෑම බීම ගැනීම පවා අතපසු කරමින්ය.
එදින දිවා ආහාරය වල්පොමුල්ල ගම්මානයේ සුන්දර ගල්තලාවක් මතදී ලබාගත් අපි එතැනින් දහවල් එකට පමණ පිටත්වූයේ නකල්ස් කඳු පංතියේ මීටර දෙදහසක් පමණ උස මානිගල කඳුමුදුන තරණය කොට ඒ හරහා කි.මී.7 ක් පමණ දුරක් ගමන් කර අප නවාතැන්ගෙන සිටි ඉලුක්‌කුඹුරේ වන නිවහන කරා ළඟා වීමටය.එදින පස්‌වරු 1.00 ට පමණ වල්පොල මුල්ලෙන් පිටත්වූ අපේ කණ්‌ඩායම, ඉලුක්‌කුඹුර වන නිවහන කරා ආ අති දුෂ්කර ගමන නිමාවන විට සවස 6.30 ත් පසුවී හාත්පස දැඩිලෙස අඳුරින් වෙලී තිබිණි.මෙවන් විසිතුරු අතරේ ගෙවීගිය දුම්බර වනපෙතේ සංචාරය අපට නම් මහත් ආශ්වාදජනක වූවක් විය. ඒ අත්දැකීම සිතෙන් පිටමං කිරීම ජීවිතය තිබෙන තුරාවට නොහැකි වනු ඇත. දුම්බර වන පෙතේ මිහිදුම්පට අතර, එහි සිසිල, සුළඟ, වනපහස විඳ අප ඉන් පිටවූවද අපද හැමදාමත් දුම්බරට පෙම් බඳින මිතුරු කැලක් සේ මේ වනපෙත රැකගැනීමට තරයේ අදිටන් කරගත් බවද කිව යුතුමය.
ජයන්ත විඡේසිංහ
No comments:
Post a Comment