Wednesday, December 21, 2011



vidusara1.jpg (14529 bytes)


ප්ලාස්‌ටික්‌ අසුරණවල ම එළවළු
පලතුරු ප්‍රවාහනය කළ යුත්තේ ඇයි?


පසු අස්‌වනු හානිය නිරීක්‌ෂණය කළ පර්යේෂකයන් දක්‌වන අදහස්‌

සාමාන්‍යයෙන් එළවළු, පලතුරු වෙළෙන්දකු වෙළෙඳාම පටන් ගන්නේ එළවළු, පලතුරු අතර හඳුන්කූරක්‌ පත්තු කොට හෝ පලතුරු කූඩයට නමස්‌කාර කරමිනි. මේ තරමට එළවළු පලතුරුවලට ගෞරව කරන වෙළෙන්දෝත් ඒවා ජාතියට දායාද කරන ගොවීහුත් ඉකුත් සතියේ එළවළු, පලතුරු පාරට විසි කර දමන්නට වූ හ. එසේ ම ඒවා පාරවල් මැදට දමා ගිනි තබන්නට ද වූ හ. අමු එළවළු, පලතුරු ගිනි ගන්නේ නැති නිසා මේවා ගිනි තබන ලද්දේ ටයර් ද දමමිනි. මිනිසුන්ට කන්නට ප්‍රමාණවත් තරම් පලතුරු නැති රටක (හෝ සමාන ලෙස ඒවා බෙදී නො යන රටක) පලතුරු ගිනි තැබීම බරපතළ අපරාධයක්‌ බව අමුතුවෙන් කිව යුතු නො වේ.

මෙවැනි ක්‍රියාදාමයකට ගොවීන් හා වෙළෙඳුන් පොලඹවන ලද්දේ අලුතෙන් පණවන ලද ප්ලාස්‌ටික්‌ කූඩ නීතිය මඟිනි. මේ ප්ලාස්‌ටික්‌ කූඩ නීතියට එරෙහි ව විශාල පිරිසක්‌ වීදි බැසගත් අතර ජන උද්ඝෝෂණ වැළැක්‌වීම සඳහා කඳුළු ගෑස්‌ පාවිච්චි කිරීමට ද පොලීසියට සිදු විය. මෙසේ ඇති වූ ගැටුම්වලින් සැලකිය යුතු පිරිසක්‌ තුවාල ලද අතර විශාල සංඛ්‍යාවක්‌ අත්අඩංගුවට ගන්නා ලදී. මැනිං වෙළෙඳපොළ අක්‍රිය වී ගොස්‌ දිවයින පුරා ම එළවළු හිඟයක්‌ ද එළවළුවල මිල ඉහළ යැමක්‌ ද දක්‌නට ලැබිණ. ගෙවල්වල කෑම මේසයට පමණක්‌ නො ව පාර්ලිමේන්තුවේ භෝජනාගාරයටත් මේ එළවළු හිඟය පලතුරු හිඟය දැනිණ. එළවළු අලෙවිය නවත්වන ලද දිනයට පසු දිනයේ පාර්ලිමේන්තු භෝජනාගාරයේ එළවළුවලින් සාදන ලද වෑංජන ඉතා දුලබ වූ බව වාර්තා විය.

කෙසේ හෝ අවසානයේ දී ජනාධිපතිවරයා ගේ මැදිහත් වීමෙන් මේ ගැටලුවට විසඳුමක්‌ ලැබී තිබේ. එනම් ගොවීන්ට හා වෙළෙඳුන්ට ප්ලාස්‌ටික්‌ බඳුන් භාවිතය සලකා බැලීම සඳහා මාසයක සහන කාලයක්‌ ලැබී තිබේ.

ප්ලාස්‌ටික්‌ කූඩ සඳහා වූ විරෝධයේ දී ප්ලාස්‌ටික්‌ කූඩ විසි කර දමනු ද ගින්නට හෙළනු ද දැකගත හැකි විය. ඇත්තට ම ප්ලාස්‌ටික්‌ කූඩවල පලතුරු ප්‍රවාහනය කළ යුතු ය යන අදහස ගිනි තැබිය යුතු සංකල්පයක්‌ ද?

මේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය තුළ යම් අඩුපාඩුවක්‌ පැවතිය ද පලතුරු එළවළු ආරක්‌ෂිතව ප්‍රවාහනය කිරීමේ මෙවැනි සංකල්පයක්‌ අප එක හෙළා ප්‍රතික්‌ෂේප කළ යුතු නැත. අප එසේ පවසන්නේ පසු අස්‌වනු

සුරැකුම් තාක්‌ෂණයට අදාළව පර්යේෂණ මෙහෙයවා ඇති විද්වතුන්ගේ අධ්‍යයන වාර්තා රැසක්‌ හා ගොවීන් ගේ අදහස්‌ ද සැලකිල්ලට ගනිමිනි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් නිලධාරී බන්දුල ජයසිංහ මහතා පලතුරු හා එළවළු සුරක්‌ෂිතව ප්‍රවාහනය කිරීමේ ක්‍රමවේද පිළිබඳව ඉතා ඵලදායි අධ්‍යයන රැසක්‌ මෙහෙයවූ අයෙකි. ඔහු සිය විද්‍යාපති උපාධියේ නිබන්ධය සඳහා කළ පර්යේෂණය ද මීට අදාළ එකකි. 2010 දී ඔහු මඤ්ඤොක්‌කා ප්‍රවාහනයේ දී ඇති වන ගැටලු හා ඒවා අවම කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැන පර්යේෂණයක්‌ කළේ ය. මෙහි දී ඔහු මඤ්ඤොක්‌කා තෝරා ගත්තේ විශේෂ හේතුවක්‌ ඇති ව ය. මඤ්ඤොක්‌කා සුළු පිරිසකට හෝ විෂ වුව හොත් එහි දී ඇතිවන ප්‍රතිඵලය ඉතා හානිකර ය. ඒවායේ පොත්තට සිදු වන පලුදු හරහා (වාතයට නිරාවරණය වීමෙන්) එතුළ ඇති විෂ රසායනික ක්‍රියාත්මක වීමට ඉඩ තිබේ. පිටතට සිදු වන කැපුම අසල දුඹුරු පැහැ වීමක්‌ ද සිදු වේ. Vascular streaking ලෙස හඳුන්වන මේ හානිය කායික විද්‍යාත්මක සංකූලතාවකි. බන්දුල ජයසිංහ මහතා පවසන්නේ මෙවැනි සංකූලතා ඇති මඤ්ඤොක්‌කා අලෙවිය අපහසු හා නුසුදුසු බවයි. "මඤ්ඤොක්‌කා පිටරට යවද්දී නම් මේ තුවාල වීම්වලින් වන හානි වළක්‌වන්නට වැක්‌ස්‌ වර්ග ආලේප කරනවා. එය ඉතා වියදම් යන ක්‍රමයක්‌. ඉතිං මෙලෙස අනවශ්‍ය වියදමකට යනවට වඩා ප්‍රවාහනයේ දී හානි වීම වළක්‌වා ගැනීමයි හොඳ." ඒ ජයසිංහ මහතා ගේ අදහසයි.

ආරක්‌ෂිතව ප්‍රවාහනය කිරීම සඳහා සුදුසු ක්‍රමය සෙවීමට ඔහු මඤ්ඤොක්‌කා කිලෝ ග්‍රෑම් 15ක ඒකක ස්‌කන්ධයක්‌ ලබාගෙන එය විවිධ ක්‍රමවලට ප්‍රවාහනය කරවී ය. එනම් ප්ලාස්‌ටික්‌ ක්‍රේට්‌, පොලිසැක්‌ මලු හා නිරාවරිතව (No package) ප්‍රවාහනයයි.

කිලෝමීටර් 30ක දුරක්‌ ප්‍රවාහනය කිරීමෙන් පසු මඤ්ඤොක්‌කාවලට සිදු ව තිබූ හානි නිරීක්‌ෂණය කරන ලදී. වැඩි වශයෙන් ම හානි වී තිබුණේ කිසිදු අසුරණයක්‌ නොමැති ව ගෙන යන ලද මඤ්ඤොක්‌කා ය. පොලිසැක්‌ මලුවල බහා ලු ඒවා ඊළඟට නරක්‌ වී තිබිණි. තැලීම, තුවාල වීම අඩුවෙන් ම සිදු වූයේ ප්ලාස්‌ටික්‌ ක්‍රේට්‌වල ගෙන ගිය ඒවා ය. කෙසේ වෙතත් ප්ලාස්‌ටික්‌ ක්‍රේට්‌වල ගෙන ගිය මඤ්ඤොක්‌කා ද සියයට තුනක්‌ පමණ හානි වී තිබූ බව පෙනී ගියේ ය.

මේ අධ්‍යයනයෙහි සුළු අඩුපාඩුවක්‌ ඇත. එය නම් ක්‍රමවේද තුනකට පමණක්‌ එය සීමා වීමයි. විශේෂයෙන් ම ලී පෙට්‌ටි යොදවා නො ගැනීම ගැන අවධානය යොමු කළ යුතු වේ. මේ පිළිබඳව අප ජයසිංහ මහතා වෙතින් පසු විපරමක්‌ කළ අතර ඔහු සඳහන් කළේ ප්‍රායෝගික ගැටලුවක්‌ හේතුවෙන් ලී පෙට්‌ටි සමග පරීක්‌ෂාව කළ නොහැකි වූ බවයි. කෙසේ වෙතත් වෙනත් අය විසින් කරන ලද අධ්‍යයන මඟින් හෙළි ව ඇත්තේ ලී පෙට්‌ටි ද ප්ලාස්‌ටික්‌ තරම් හොඳ නො වන බව ය.

බන්දුල ජයසිංහ මහතා ගේත් අනෙක්‌ දේශීය හා විදේශීය විද්වතුන් ගේත් පර්යේෂණවලින් හෙළි ව ඇති එක්‌ ප්‍රධාන කරුණක්‌ වන්නේ ප්‍රවාහනයේ දී පලතුරු එළවළු ආදියට වන හානිය සියයට තිහේ සිට හතළිහ දක්‌වා ඉහළ එකක්‌ බවයි. මෙසේ පලතුරු එළවළු ආදියට හානි වීමට හේතු ද ජයසිංහ මහතා පැහැදිලි කරයි.

ඔහුට අනුව වැදගත් ම කරුණ නම් ප්ලාස්‌ටික්‌ බඳුන් තුළ සුමුදු පෘෂ්ඨයක්‌ පැවතීම නිසා ඝර්ෂණයෙන් වන හානිය අඩු වීමයි. ලී, පොලිසැක්‌ මලු හා වෙනත් බඳුන් වර්ග හා සසඳන කල ඝර්ෂණයෙන් වන බලපෑම ප්ලාස්‌ටික්‌වල අඩු ය. එසේ ම කම්පනයෙන් වන හානිය ද අඩු ය. කම්පන හානිය අවම වීමට හේතුව ලී පෙට්‌ටි ගෝනි හා සසඳන කල ප්ලාස්‌ටික්‌ කූඩ උසින් අඩු වීමයි. උස අඩු නිසා තෙරපුමෙන් වන හානි ද අවම වේ. ලී පෙට්‌ටිවල මීට සාපේක්‌ෂව එක මත එක එළවළු පලතුරු විශාල ප්‍රමාණයක්‌ අසුරයි. ලී පෙට්‌ටිවල හෝ පොලිසැක්‌ ගෝනිවල හොඳ වාතනයක්‌ නැත. ප්ලාස්‌ටික්‌ කූඩවල වාතන ක්‍රියාව විශිෂ්ට මට්‌ටමක පවතී. ලීවල එසේ නො වේ. ලී පෙට්‌ටි ඇතුළත ඇති බෝග වැඩිපුර රත් වේ. ඇතුළත තාපය ඉහළ යැම නිසා ජීවි ක්‍රියාකාරිත්වවල වේගය ද වැඩි වේ. ජීව ක්‍රියා ඉහළ යැමෙන් බෝග තුළ ඇති සංචිත ආහාර වේගයෙන් හායනය වේ. පොලිසැක්‌ හෝ හණ ගෝනිවල වී මුං හා වෙනත් ඇට වර්ග ප්‍රරෝහණය වන අවස්‌ථා ද ඇත. වාතාශ්‍රය නැති විට මලු තුළ එතිලීන් වායුව නිපදවී රැඳේ. එවිට පරිවෘත්තීය ක්‍රියා වේගවත් වී ඉදීම හා නරක්‌ වීම සිදු වේ. මාළු මිරිස්‌ වැනි දේ ඉක්‌මනින් කොළ පැහැයේ සිට කහ පැහැ වීමට එතිලීන් බලපායි. කරවිල, වැටකොළු ආදිය තද ගතියෙන් යුක්‌ත වීමට ද එතිලීන් රැඳීම හේතු වේ.

ජයසිංහ මහතා පෙන්වා දෙන තව කරුණක්‌ වන්නේ පලතුරු එළවළු ආදිය මිශ්‍ර ව ප්‍රවාහනය කිරීම නිසා ඇති වන හානි ද ප්ලාස්‌ටික්‌ කූඩ භාවිතයෙන් මඟහරවා ගත හැකි බවයි.

"ප්‍රවාහනය කරද්දී එළවළු හා පලතුරු එකට දමාගෙන යැමෙන් ද ගැටලු මතු වෙනවා. සමහර පලතුරු හා එළවළුවල එතිලින් වැඩියෙන් හැදෙනවා. සමහර ඒවා එතිලින්වලට වැඩිපුර සංවේදියි. එතිලින් වැඩියෙන් හැදෙන පලතුරක්‌ ළඟ ම එතිලින් වැදුණ ගමන් නරක්‌ වන බණ්‌ඩක්‌කා වැනි දෙයක්‌ ඇසිරුවොත් හානියක්‌ වෙනවා. බණ්‌ඩක්‌කා ඉක්‌මනින් නරක්‌ වෙන්න ඉඩ තියෙනවා. ප්ලාස්‌ටික්‌ ඇසුරුම්වල දමාගෙන යද්දී මේ මිශ්‍ර වීම වළක්‌වාගත හැකියි." එසේ පැහැදිලි කරන්නේ ජයසිංහ මහතා ය.

ගන්නෝරුවේ කෘෂි උපදේශක අසේල

විඡේසුන්දර මහතා ද දිගු කලක්‌ ආරක්‌ෂිතව බෝග ප්‍රවාහනය කළ යුත්තේ කෙසේ ද යන්න ගැන විශේෂඥයන් විසින් කරන ලද අත්හදාබැලීම්වලට හවුල් වූවෙකි. "අපේ කණ්‌ඩායම මේ ගැන හැදෑරීම් කළේ මීට අවුරුදු පහ හයකට කලින් සිටයි. ගෝනි, කාඩ්බෝඩ් පෙට්‌ටි, ප්ලාස්‌ටික්‌ පෙට්‌ටි, ලී පෙට්‌ටි ආදි අසුරණවල බහා අස්‌වනු ලොරිවලින් ප්‍රවාහනය කෙරෙව්වා. ඉන්පසු අස්‌වැන්නට සිදු වූ හානි විමර්ශනය කළා. එහි දී අපට පෙනී ගියේ හානිය අඩුවෙන් ම වූයේ ප්ලාස්‌ටික්‌වලින් බවයි. ඉන්පසු අඩු ම හානිය ලී පෙට්‌ටිවලින්, තුන් වැනි තැන කාඩ්බෝඩ්. ගෝනි නම් හොඳ ම නැහැ" ඒ

විඡේසුන්දර මහතා ගේ අදහස ය. ප්ලාස්‌ටික්‌ වෙනුවට ලී පෙටිටි යොදා ගත නොහැක්‌කේ ලී පෙට්‌ටියේ ඇතුළත සුමට නො වීම හා වාතන ගැටලු නිසා බව විඡේසුන්දර මහතා පෙන්වා දෙයි. දැනට ලංකාවේ භාවිත වන ලී පෙට්‌ටි ප්‍රමිතියකට නොමැති බව තම කණ්‌ඩායමේ අධ්‍යයනවලින් හෙළි වූ බව ඒ මහතා පවසයි.

විඡේසුන්දර හා ජයසිංහ මහත්වරුන් ගේ අධ්‍යයනවලට අදාළව අපට මතු වූ ගැටලුවක්‌ නම් පල්ප වර්ගවලින් තැනූ ඝන කඩදාසි අසුරණ පලතුරු වැනි දේ ප්‍රවාහනයට යොදා ගත නොහැක්‌කේ මන්ද යන්නයි. අවාසනාවකට මෙන් ඔවුන් දෙදෙනා ම මේ පල්ප කඩදාසි ගැන තම අධ්‍යයනයේ දී අවධානය යොමු කර තිබුණේ නැත.

මනෝඡ් රත්නායක
 

No comments:

Post a Comment